ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළ එසේ නිම විය.

0
72

62 වැනි වරටත් පැවැත්වෙන බොලිවුඩයේ ජනප්‍රියතම සිනමා සම්මාන උලෙළ වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළ පසුගිය 14 වැනිදා රාත්‍රියේදී නිමාවට පත්විය.

බොලිවුඩයේ රජු ලෙස සැලකෙන ෂාරුක් ඛාන් සමග සුපිරි බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර් සහ කපිල් ෂර්මා ඉදිරිපත් කළ මෙවර චිත්‍රපට සම්මාන උලෙළේදී වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් චිත්‍රපට වූයේ නීර්ජා, කපූර් ඇන්ඩ් සන්ස්ය. එම චිත්‍රපට ද්විත්වයම චිත්‍රපට සම්මාන පහ බැගින් දිනාගැනීමට සමත්විය.

මෙහිදී හොඳම නළුවා සම්මානය අමීර් ඛාන් දිනාගත් අතර ඒ ‘දන්ගල්’ චිත්‍රපටයේ මහාවීර් සිංගේ චරිතය වෙනුවෙන් ලබාදුන් අති විශිෂ්ට රූපණ දායකත්වය වෙනුවෙනි. එම සම්මානයට සුපිරි නළු අමිතාබ් බච්චන් (පින්ක්), ෂාරුක් ඛාන් (ෆෑන්), සල්මන් ඛාන් (සුල්තාන්), රන්බීර් කපූර් (ඒ දිල් හයි මුෂ්කිල්), ෂහීඩ් කපූර් (උඩ්ටා පන්ජාබ්) සහ නවක නළු සුසාන්ත් සිං රාජ්පුත් (එම්.එස්. දෝනි :ද අන්ටෝල්ඩ් ස්ටෝරි) ද නිර්දේශව සිටීම කැපී පෙනේ.

හොඳම අධ්‍යක්ෂවරයා ලෙස ‘දන්ගල්’ චිත්‍රපටයේම නිතිෂ් තිවාරි සම්මාන දිනාගත් අතර, හොඳම චිත්‍රපටය වූයේද ‘දන්ගල්’ චිත්‍රපටයයි. ඊට කපූර් ඇන්ඩ් සන්ස්, නීර්ජා, සුල්තාන්, පින්ක් සහ උඩ්ටා පන්ජාබ් යන චිත්‍රපටද නිර්දේශව තිබිණ.

හොඳම නිළියට හිමි සම්මානය ආලියා භාට් දිනාගත් අතර ඒ උඩ්ටා පන්ජාබ් චිත්‍රපටයේ ‘බව්රියා’ ලෙසින් පෑ රූපණ දායකත්වය වෙනුවෙනි. මෙම උලෙළට සෝනම් කපූර් හෝ ඇගේ පෙම්වතා ලෙස කටකතා පැතිරෙන ආනන්ද් අහුජා නොපැමිණි අතර ඔවුන්, තමන්ගේ පියා වන අනිල් කපූර්ගේ උපන් දිනය එංගලන්තයේ ලන්ඩනයේදී සමරා, ඉනික්බිති ඇමෙරිකාවේ ඇම්ස්ටර්ඩෑම් නුවර කෙටි නිවාඩුවක් ගත කිරීමට ගොස් ඇත.

එසේම බොලිවුඩ් නිළි කත්‍රිනා කයිෆ්ද මේ සඳහා සහභාගි නොවූ නමුත් ඇය ස්කයිප් තාක්ෂණය හරහා ඔක්ස්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ සිට සම්මාන උලෙළ ඇමතීම කැපී පෙනේ. එමෙන්ම  කොළ පැහැති ඇඳුමකින් සැරසී උන් සොනක්ෂි සින්හාගේ සරාගී පෙනුම පිළිබඳ බොහෝ දෙනා අවධානය යොමු කළ මෙම සම්මාන උලෙළේදී ප්‍රථම වතාවට සුපිරි බොලිවුඩ් නිළි ප්‍රීති සින්ටා තමන්ගේ පෙම්වතා වන ජිනි ගුඩ්ඉනෆ් සමගින් පැමිණීම විශේෂත්වයකි.

එසේම සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් සහ ෂාරුක් ඛාන් නවතම සිනමා කෘතියකදී වසර දහයකට පසුව එකතු වීම මෙහිදී බොහෝ ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගැනීමට සමත්වූ අතර, ඒ පිළිබඳව මාධ්‍යට අදහස් දක්වමින් ෂාරුක් පවසා ඇත්තේ, මේ වසරේ ජුනි මස 26 වැනිදා තිරගත වීම ඇරැඹෙන ‘ටියුබ්ලයිට්’ චිත්‍රපටයේ නිෂ්පාදකවරුන්ගෙන් තමන් සහ සල්මන්ගේ සිනමා මිතුදම පිළිබඳව අසන ලෙසත්, තමන් එම චිත්‍රපටයේ ආරාධිත රංගනයක නිරත වන බැවින් මාධ්‍යයට අවශ්‍ය කරන පිළිතුර නිෂ්පාදකවරුන් ලබාදෙනු ඇති බවයි.

මෙහිදී හොඳම පසුබිම් ගායකයාට හිමි සම්මානය අර්ජිත් සිං දිනා ගත් අතර ඒ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටයේ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ ගීතය වෙනුවෙනි. හොඳම පසුබිම් ගායිකාව වූයේ නේහා බසින්ය. ඒ සුල්තාන් චිත්‍රපටයේ ‘ජග් ගූමේයා’ ගීතය වෙනුවෙනි.

ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටයට හිමි ෆිල්ම්ෆෙයාර් විචාරක සම්මානය දිනා ගත්තේ ‘නීර්ජා’ චිත්‍රපටයයි. එය රාම් මත්වානිගේ අධ්‍යක්ෂණයකි. හොඳම තිර පිටපතට හිමි ෆිල්ම්ෆෙයාර් විචාරක සම්මානය දිනා ගත්තේ ‘ෆෝබියා’ චිත්‍රපටයේ තිර රචක පවන් කිර්පලානිය.

සම්මානනීය කොලිවුඩ් නළුෙවකු වන කමල් හසන්ද සුවිශේෂී ආරාධිතයකු ලෙස සම්මාන උලෙළට පැමිණ සිටි අතර, හොඳම නළුවාට හිමි විචාරක සම්මානය දිනා ගත්තේ ‘උඩ්ටා පන්ජාබ්’ චිත්‍රපටයේ රඟපෑ ෂහීඩ් කපූර් සහ ‘අලිගාර්’ චිත්‍රපටයේ රඟපෑ මනෝජ් බජ්පායේය. හොඳම නිළියට හිමි විචාරක සම්මානය දිනා ගත්තේ ‘නීර්ජා’ චිත්‍රපටයේ රඟපෑ සෝනම් කපූර්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here