සචින් තෙන්ඩුල්කාර් ගායන ලොවට පිවිසෙයි.

0
18

ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්(43) ඔහුගේ පළමු ගීතය වන ‘ක්‍රිකට් රිද්මය‘ ගීතය ඉන්දියාවේ  ‘ඇමෙරිකන් අයිඩල්‘ වැඩසටහනේ අවසන් මහා තරඟයේදී එළි දක්වා ඇත. එම ගීතය බොලිවුඩ් ගායක සෝනු නිගම් සමග ගායනා කර ඇති අතර ඔහු ටෙන්ඩුල්කාර්ගේ ගීත ගැයීම අගය කර ඇත.

“ඔහු හොඳ ගායකයෙක්. ඔහු නිවැරදිව ස්වර හැසිරවූ නිසා ස්වර නිවැරදි කිරීමේ තාක්ෂණය භාවිත කිරීමට අවශ්‍ය වුණේ නැහැ.“ සෝනු නිගම් ඉන්දීය මාධ්‍ය වෙත පැවසීය.

මෙම ගීතය ඉතාමත් ඉක්මනින් ප්‍රසිද්ධියට ලක්වී ඇති අතර යූ-ටියුබ් ඔස්සේ එම ගීතය මිලියන දෙකකට වඩා පිරිසක් නරඹා තිබේ. ගීතය සඳහා ලැබෙන ප්‍රේක්ෂක සහයෝගයට ටෙන්ඩුල්කාර් තම ස්තූතිය පළ කළේය.එම ගීත වීඩියෝවේ ඔහුගේ විශිෂ්ට ක්‍රීඩා විලාසය දැක්වෙන දර්ශනද අඩංගු වෙයි.

“ඔහුගේ කටහඬින් ගීතයක් ඇසීමට ලැබීම සතුටක්“ ට්විටර් පරිශීලක ජිතෙන්ඩ්‍රා සෙන් ට්විටර් ඔස්සේ පවසයි.
“හැමෝටම ස්තූතියි. මගේ ගීතය පැය විසි හතරක් ඇතුළත මිලියනයකට අධික පිරිසක් නරඹා තිබුණා. ඉදිරියටත් මෙම සහයෝගය බලාපොරොත්තු වෙනවා“ ටෙන්ඩුල්කාර් ට්විටර් පණිවුවයක් මගින් කියා තිබිණි.

විශ්‍රාම ගත් ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සංගීත කටයුතු කරන අවධියක ඔහු මෙම ගීතය එළිදැක්වීය.
බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ 2016 විස්සයි20 ලෝක කුසලාන සමයේදී ‘චැම්පියන්‘ මැයෙන් ගීතයක් එළිදැක්වූවේය. කොදෙව්වන් ලෝක කුසලානය ජයගැනීමත් සමග එම ගීතය එරට ගීත වැඩසටහන්වල ප්‍රසිද්ධම ගීතයක් බවට පත්විය.

ඕස්ටේලියානු වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී ද බොලිවුඩ් ගායිකා ආශා බෝස්ලි සමග ගැයූ ගීතයද ඉන්දියාවේ ඉතා ඉක්මනින් ජනප්‍රිය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here