ශ්‍රී ලංකාව ලොව කාන්තා ජනගහනය වැඩි රටවල් අතරට

0
35

   ලෝකයේ කාන්තා ජනගහනය වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාවට 17 වැනි ස්ථානය ලැබී ඇතැයි ලෝක ජනගහන දත්ත පරීක්ෂා කිරීමේ දී පෙනී යයි. 2016 ජනගහන දත්ත අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 51.9ක් කාන්තාවන් වීමෙන් මෙම ස්ථානය ලැබී තිබේ. 

  ලොව කාන්තා ජනගහනය වැඩිම රට බවට පත්ව ඇත්තේ සියයට 54ක් කාන්තාවන් සිටින ලැට්වියාවයි. දෙවැනි ස්ථානයේ සියයට 54.0ක් කාන්තාවන් සිටින ආර්මේනියාව සිටින අතර ලිතුවේනියාව තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ එහි ජනගහනයෙන්ද සියයට 54.0ක් කාන්තාවන් සිටීම හේතුවෙනි. සියයට 53.7ක් කාන්තාවන් සිටින යුක්රේනය හා සියයට 53.5ක් කාන්තාවන් සිටින රුසියන් සමූහාණ්ඩුව හතරවැනි හා පස්වැනි ස්ථානයන්ට පත්ව ඇත.  ලෝක ජනගහන දත්ත සටහන අනුව 1970 දී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් කාන්තාවන් ප්‍රතිශතය වී ඇත්තේ සියයට 48.5කි. එය 1990 දී 49.5ක් බවට පත්ව ඇති අතර, 2000 වර්ෂයේ දී මුල්වරට සියයට 50 ඉක්මවා තිබේ. 

    කාන්තා ජනගහනය අතින් දකුණු ආසියාවේ සියලු රටවල් සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා පහළිනි. රටේ සමස්ත ජනගහණයෙන් සියයට 51.5ක් කාන්තාවන් සිටින නේපාලය මෙම ලේඛනයේ 24 වැනි ස්ථානයට පත්ව සිටියි.  අනෙකුත් සියලුම දකුණු ආසියාතික රටවල කාන්තාවන් ප්‍රතිශතය සියයට 50ට වඩා අඩුය. මාලදිවයිනේ කාන්තාවන් ප්‍රතිශතය එරට ජනගහණයෙන් සියයට 49.9කි. ඒ අනුව මාලදිවයින ලෝකයේ වැඩිම කාන්තා ජනගහණයක් සහිත රටවල 129 වැනි ස්ථානයට පත්ව සිටියි. බංග්ලාදේශයේ කාන්තාවන් සියයට 49.5ක් වන බැවින් ලොව වැඩිම කාන්තා ජනගහනයක් දක්නට ලැබෙන රටවල් අතර බංග්ලාදේශයට 150 වැනි ස්ථානය හිමිව ඇත. පාකිස්තානය 172 වැනි ස්ථානයට පත්ව ඇත්තේ එරට ජනගහනයෙන් කාන්තාවන් සියයට 48.6ක් බැවිනි. ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව හා භූතානය 176, 177 හා 178 ස්ථානයන්ට පිළිවෙළින් පත්ව ඇති අතර, ඇෆ්ගනිස්ථානයේ කාන්තා ජනගහන ප්‍රතිශතය සියයට 48.4කි. ඉන්දියාවේ 48.2කි. භූතානයේ එම ප්‍රතිශතය 46.3කි. 

      කාන්තා ජනගහණය සලකා බලා ඇති රටවල් 184ක් අතරින් රටවල් 112ක් හෙවත් සියයට 60.86ක කාන්තාවන් ප්‍රමාණය පිරිමි ප්‍රමාණය ඉක්මවා ඇත.  රටල් 10ක කාන්තාවන් හා පිරිමි ප්‍රමාණය ආසන්න වශයෙන් එකිනෙකට සමාන බැවින් එය දක්වා ඇත්තේ සියයට 50ට 50 වශයෙනි. ඒ ඔස්ට්‍රේලියාව, බොට්සාවනා, කෙන්යාව, හොන්ඩුරස්, උගන්ඩා, ඉක්වදෝරය, ස්වීඩනය, කැමරූන්, කොස්ටා රිකා හා කොංගෝ යන රාජ්‍යයන්හිය. රටවල් 62ක හෙවත් ජනගහන දත්ත මේ සලකා බලා ඇති රාජ්‍යයන්ගෙන් සියයට 33.69ක පමණක් කාන්තාවන් ප්‍රතිශතය ඉක්මවා පිරිමි ප්‍රතිශතය වැඩි වී තිබේ.  අඩුම කාන්තාවන් ප්‍රතිශතයක් දක්නට ලැබෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා ප්‍රතිශතය සියයට 27.1කි. කටාර් රාජ්‍යයේ කාන්තාවන් ප්‍රතිශතය සියයට 27.8කි. ඕමානයේ කාන්තාවන් ප්‍රතිශතය සියයට 33.5කි. බහරේනයේ කාන්තාවන් ප්‍රතිශතය සියයට 38.1කි. අනෙක් සියලු රටවල කාන්තාවන් ප්‍රතිශතය සියයට 43 ඉක්මවා ඇති බව ලෝක ජනගහන දත්ත වාර්තා අනුව පැහැදිලි වේ. 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here