වෙනස්කම් මැද හමු වූ දෙදෙනෙක්.

0
53

ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ට්‍රම්ප් පළකළ ඇතැම් අදහස් මෙන්ම ඔහුගේ ප්‍රතිපත්ති දැඩි විවේචනයට ලක්විණි. ආන්දෝලනාත්මක ඇතැම් කාරණා ගැන අවධානය යොමුකරමින් පාප්තුමන් ද අදහස් දැක්වීය. එහෙත් ට්‍රම්ප්ගේ නම සඳහන් කිරීමෙන් එතුමන් වැළැකිණි. ඒ වෙනුවට උන්වහන්සේ කියා සිටියේ පාලම් තැනීම වෙනුවට පවුරු ගොඩනැගීම ගැන පමණක් කල්පනා කරන කවුරුන් හෝ වේනම් ඔහු කිතුණුවකු නොවිය හැකි බවය.

ජනාධිපති ට්‍රම්ප් සමඟ රාජ්‍ය ලේකම් ටිලර්සන් සහ ජාතික ආරක්ෂක උපදේශක මැක්ටාස්ටර් මෙම සංචාරයට එක්ව සිටිය ද ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපායමාර්ගිකයා වන ස්ටෙෆන් කේ බැනන් රෝමයට පැමිණීමෙන් වැළකී තිබීම ද විශේෂය. ඔහු රෝමය මගහැරි බව පෙනෙන්නට තිබිණි. බැනන් කතෝලිකයෙකි. එහෙත් ෆ්‍රැන්සිස් පාප්තුමන් සමාජවාදියකු ලෙස දක්වමින් ඔහු එතුමන් විවේචනය කර ඇත.

දේශගුණික විපර්යාස, සංක්‍රමණික ගැටලුව හා සරණාගතයන් පිළිබඳ ප්‍රතිපත්තිය වැනි කාරණා සම්බන්ධයෙන් ‍දෙදෙනා අතර ඇති මතවාදීමය වෙනස්කම් පසෙක තිබියදී සිදුවූ ෆ්‍රැන්සිස් පාප්තුමන් සහ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව ලෝක අවධානයට ‍ලක්වී තිබේ.

සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර මෙක්සි‍කානු දේශසීමාවේ ආරක්ෂක පවුරක් ඉදිකළ යුතු බවට සහ අමෙරිකාවට ඇතුළුවන මුස්ලිම් සංක්‍රමණිකයන් හා සරණාගතයන් හරවායැවිය යුතු බවට ට්‍රම්ප් දැඩිව පළකළ අදහස් පාප්තුමන්ගේ තියුණු විවේචනයට ලක්විය. එවැනි මතයක පිහිටා සිටින්නකු කිතුණුවකු විය නොහැකි බව පාප්තුමන් කියාසිටියේ ය.

මේ කවර අන්දමේ වෙනස්කම් පැවැතියද ජනාධිපති ට්‍රම්ප් සහ පාප්තුමන් අතර සිදුවූ හමුව සුහදශීලීව පැවැති බව වාර්තා විය. දේශගුණික විපර්යාස පිළිබඳ කාරණය මුල්කර ගනිමින් පැවැති කුඩා පරිමාණයේ විරෝධතා ව්‍යාපාර කිහිපයක් හැරුණුවිට අන් බාධාවකට වතිකානයේදී මුහුණ දීමට ට්‍රම්ප්ට සිදුවූයේ නැත. පරිසර ක්‍රියාකාරීන්ගේ එම විරෝධතා ව්‍යාපාර ට්‍රම්ගේ ඊළඟ ගමනාන්තය වන බ්‍රසල්ස් නුවරදී සහ ජී. 7 සමුළුව පැවැත්වෙන සිසිලියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. ට්‍රම්ප් බ්‍රසල්ස් නුවරට යන්නේ නේටෝ සමුළුවට සහභාගි වීමටය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ට්‍රම්ප් කරන පළමු විදේශ සංචාර කිහිපයට මෙම වතිකාන සංචාරය ද ඇතුළත්ය. මෙහි පැමිණීමට පෙර ට්‍රම්ප් ජනාධිපතිවරයා සවුදිඅරාබියේ, පලස්තීනයේ සහ ඊශ්‍රායලයේ චාරිකා කළේය.

දෙදෙනා අතර සිදුවූ හමුවේදී සාකච්ඡා කළ කාරණා මාධ්‍යයට හෙළිදරව් වී නැත. එසේ වුවද දේශගුණික විපර්යාස, ත්‍රස්තවාදය, සාමය වැනි මාතෘකා එහිදී සංවාදයට ලක්වන්නට ඇති බව වාර්තා වී තිබේ. අමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මාධ්‍ය හමුවේ කියා තිබුණේ ද ත්‍රස්තවාදය, සාමය හා දේශගුණික විපර්යාස ගැන වඩාත් අවධානයට ලක්වූ බවය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතිය පිළිගැනීම සඳහා වතිකාන රාජ්‍ය ලේකම් විසින් ජනාධිපති ට්‍රම්ප් දිරිගැන්වූ බවය. කෙසේවුව ද ඒ පිළිබඳ අවසන් නිගමනයකට එළැඹීම පසුව සිදුවනු ඇතැයි ජනාධිපතිවරයා කියා තිබේ.

නායක දෙපළ අතර පැය ½ ක පමණ කාලයක් තිස්සේ සිදුවූ පෞද්ගලික මට්ටමේ සාකච්ඡාව නිමකර එම ස්ථානයෙන් පිටවීමට පෙර ජනාධිපති ට්‍රම්ප් පාප්තුමන්ට ස්තූතිකර තිබිණි. “ඔබ පෙර කී දේවල් අමතක කිරීමට මට අවශ්‍යයි. යනුවෙන් ද ඔහු සඳහන් කර ඇත.

පාප්තුමන් සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර සිදුවූ හමුවේදී සාකච්ඡාවූයේ ලෝක සාමය උදාකිරීම සහ එය දේශපාලනමය සාකච්ඡා මාර්ගයෙන් මෙන්ම අන්තර් ආගමික සංවාදයකින් සිදුකරන්නේ කෙසේ ද යන්න ගැන බව වතිකානය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. මැදපෙරදිග සිටින කිතුණුවන්ගේ ආරක්ෂාව ගැන ද මෙහිදී අවධානය යොමුවී තිබේ.

පසුදින ඉතාලි අගමැතිවරයා හමුවීමෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, එය අරුමැසි හමුවීමක් වූ බවය. තමා ඉතාලියට බෙහෙවින් ප්‍රිය කරන බව ද මෙහිදී කියා සිටි ට්‍රම්ප් පාප්තුමන් හමුවීමට ලැබීම ගෞරවයක් බව ද පවසා තිබිණි.

මෙම හමුවීමෙන් පසු පාප්තුමන් සහ ජනාධිපති ට්‍රම්ප් පෙනී සිටි ඡායාරූපවලින් නම් පිළිබිඹුවූයේ පාප්තුමන්ගේ මුහුණේ සොම්නස්සහගත හැඟීමක් නොවූ බව යැයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහෙත් නිල වශයෙන් එවැනි නොරුස්නා බවක් වාර්තා නොවේ. තිළිණ හුවමාරුවෙන් පසු පාප්තුමන් සැහැල්ලු පුළුල් සිනහවක් පළකර තිබිණි.

ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ට්‍රම්ප් පළකළ ඇතැම් අදහස් මෙන්ම ඔහුගේ ප්‍රතිපත්ති දැඩි විවේචනයට ලක්විණි. ආන්දෝලනාත්මක ඇතැම් කාරණා ගැන අවධානය යොමුකරමින් පාප්තුමන් ද අදහස් දැක්වීය. එහෙත් ට්‍රම්ප්ගේ නම සඳහන් කිරීමෙන් එතුමන් වැළැකිණි. ඒ වෙනුවට උන්වහන්සේ කියා සිටියේ පාලම් තැනීම වෙනුවට පවුරු ගොඩනැගීම ගැන පමණක් කල්පනා කරන කවුරුන් හෝ වේනම් ඔහු කිතුණුවකු නොවිය හැකි බවය.

එම ප්‍රකාශයට ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය ද දරුණු එකක් විය. ෆ්‍රැන්සිස්ගේ විනිශ්චයාත්මක අදහස් දැක්වීම නින්දිත බව ඔහු පෙරළා පැවසීය. දෙපාර්ශවයෙන්ම මේ පිළිබඳ සමාව අයැදීමක් සිදු නොවිණි. ඒ වෙනුවට වතිකානය ප්‍රකාශ කළේ පාප්තුමන්ගේ එම අදහස් දැක්වීම සංක්‍රමණිකයන්ට තවදුරටත් සහාය ලබාදීමට අමෙරිකානුවන්ට බලපාන සෞඛ්‍ය රැකවරණය, අධ්‍යාපනය ආදී කාරණා සැලකිල්ලට ගනිමින් සිදුවූ බවය. කෙසේවුවද එම අතීත මතක බැහැරින් තබා තිබුණු බවක් මේ හමුවේදී දැකිය හැකිවිය. ජනාධිපති ට්‍රම්ප් සමඟ පළමු කත මෙලනියා ට්‍රම්ප්ද, දියණිය ඉවන්කා ද පාප්තුමන් බැහැදැකීමට එක්ව සිටියහ.

පාප්තුමන් සහ ජනාධිපති ට්‍රම්ප් අතර හුවමාරු වූ තිළිණ ගැන ද මාධ්‍ය අවධානය යොමුවිය. ජනාධිපති ට්‍රම්ප් පාප්තුමන්ට පිරිනැමුවේ මාටින් ලූතර් කිංගේ කෘතීන් කිහිපයකි. “ඔබ ඉන් ප්‍රයෝජන ලබනු ඇතැයි මා සිතනවා…” යනුවෙන් ඒවා පිරිනමමින් ඔහු පවසා තිබේ. පාප්තුමන් ජනාධිපතිවරයාට පිරිනැමුවේ රෝමානු නිර්මාණ ශිල්පියකු විසින් කළ ඔලිව් වෘක්ෂයක් දැක්වෙන පදක්කමකි. ඉන් සාමය සංකේතවත් කෙරෙන බව පාප්තුමන් පැවසූ විට ට්‍රම්ප් ඊට ප්‍රතිචාර දැක්වූයේ “අපට සාමය අවශ්‍යයි” යනුවෙනි.

“මා එහි අත්සනක් ද තැබුවා..” යනුවෙන් පවසමින් මෙවර ලෝක සාමය දින පණිවිඩයේ පිටපතක් ද පාප්තුමන් එම තිළිණය සමඟ ට්‍රම්ප් අත තැබීය. පාප්තුමන් ක‍තෝලිකයකු වන මෙලනියාට ආශිර්වාද කළ බව ද ඉවන්කා සහ ඇයගේ සැමියා සමඟ විහිළුවක්, දෙකක් කළ බව ද මාධ්‍ය වාර්තාවල සඳහන්විය.

පාප්තුමන් බැහැදැකීමෙන් පසු ලෝකයට සාමය උදාකිරීම වෙනුවෙන් තමා අධිෂ්ඨානයක් තබාගත් බව ජනාධිපති ට්‍රම්ප් කියාසිටියේය. ඒ වෙනුවෙන් අන් කවරදාටත් වඩා තමා අධිෂ්ඨානසහගත වන බව ඔහු පවසා තිබිණි. ඉන් ගම්‍ය වන්නේ සාමය උදෙසා පාප්තුමන් විසින් ඔහු දිරිගන්වන්නට ඇති බවය.

එම හමුව සිදුවනවිටත් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදයෙන් යුරෝපය නැවතත් සසළවී තිබිණි. මැදපෙරදිගට සාමය උදාකිරීමට තමා ප්‍රයත්න දරණ බව ඊශ්‍රායලයේ හා පලස්තීනයේ සිදුකළ සංචාරවලින් පසු ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. ඊට පෙර සවුදි අරාබියේදී ජනාධිපති ට්‍රම්ප් මුස්ලිම් රටවලින් ඉල්ලා සිටියේ අන්තවාදයට එරෙහි සටනේ මූලිකත්වය ගන්නා ලෙසය.

පාප්තුමන් සහ ජනාධිපති ට්‍රම්ප් අතර සිදුවූ හමුව අන්තර්ජාතික කටයුතු සම්බන්ධයෙන් සළකනවිට අදහස් උදහස් හුවමාරු කරගැනීමක් ලෙස සැලකිය හැකි බව වතිකානයේ අදහසය. එම අදහස් ප්‍රායෝගිකව කෙලෙස භාවිතයට එක්වනු ඇත්ද යන්න ඉදිරි කාලයේදී දැකගත හැකිවනු ඇත. එකිනෙකාට හාත්පසින් වෙනස් චරිත දෙකක් අතර සිදුවූ සංවාදයකට පසු යම් ඵලදායී ප්‍රවේශයකට එළැඹීමට හැකිවීද යන්න එවිට පැහැදිලිවනු ඇත.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ට්‍රම්ප් සිදුකළ පළමු යුරෝපා සංචාරය ද මෙයයි. වතිකානයේ සහ රෝමයේ ආරක්ෂාව තර කර තිබුණු අතර ඉතාලි ජනාධිපති මැඳුර සහ ‍අමෙරිකානු තානාපතිවරයාගේ නිල නිවසට යන මාර්ග තාවකාලිකව වසාදමනු ලැබීය. පරිසර ක්‍රියාකාරීන්ගේ විරෝධතා සිදුවූයේ දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබියදීය.

‍ෆ්‍රැන්සිස් පාප්තුමන් බැහැදුටු දෙවන අමෙරිකානු ජනාධිපතිවරයා ට්‍රම්ප්ය. මීට පෙර වසරේදී ජනාධිපති බැරක් ඔබාමා එතුමන් හමුවිය. එය විනාඩි 20ක හමුවකි. අමෙරිකාවේ කිතුණුවන් මිලියන 70ක් පමණ සිටී. එවැනි පසුබිමක අමෙරිකානු නායකයා සහ කිතුණූවන්ගේ නායකයා අතර සිදුවන හමුවක් විශේෂයෙන් වැදගත්ය.

ජනාධිපති ට්‍රම්ප් සමඟ රාජ්‍ය ලේකම් ටිලර්සන් සහ ජාතික ආරක්ෂක උපදේශක මැක්ටාස්ටර් මෙම සංචාරයට එක්ව සිටිය ද ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපායමාර්ගිකයා වන ස්ටෙෆන් කේ බැනන් රෝමයට පැමිණීමෙන් වැළකී තිබීම ද විශේෂය. ඔහු රෝමය මගහැරි බව පෙනෙන්නට තිබිණි. බැනන් කතෝලිකයෙකි. එහෙත් ෆ්‍රැන්සිස් පාප්තුමන් සමාජවාදියකු ලෙස දක්වමින් ඔහු එතුමන් විවේචනය කර ඇත. එමෙන්ම මුස්ලිම් සංක්‍රමණිකයන් පිළිබඳ කාරණයේදී වඩාත් තීරණයක් වන ලෙස බලපෑවේද ඔහුගේ උපදෙස්ය.

දෙදෙනා අතර ඇති බරපතළ වෙනස්කම් මධ්‍යයේ පැහැදිලි සාමයක් ද ඔවුන් අතර තිබේ. එනම් ෆ්‍රැන්සිස් පාප්තුමන් සම්ප්‍රදායෙන් වෙනස් මගක් ගත් රැඩිකල් පාප්වරයකු ලෙස පිළිගැනීමට ලක්වීම සහ ජනාධිපති ට්‍රම්ප් ද සම්ප්‍රදායික දේශපාලනඥයකු නොවන වෙනස් අදහස් ඇති නායකයකු වීමය.

මෑතදී පාප්තුමන් පෘතුගාලයේ සංචාරයක යෙදුණු අවස්ථාවේ ජනාධිපති ට්‍රම්ප් ගැන කළ විමසීමකට ප්‍රතිචාර දක්වා තිබුණේ “මං පවසන්නෙ මට සිතුණ දේ ඔහු පවසන්නේ ඔහුට සිතෙන දේ. නමුත් මං කවදාවත් කාට හෝ සවන් නොදී ඔහු ගැන විනිශ්චයන්ට එළැඹීමට සූදානම් නෑ…” යනුවෙනි.

ජනාධිපති ට්‍රම්ප් හමුවීමෙන් පසු ඔහුට සවන් දීමට එතුමන්ට අවස්ථාව ලැබිණි. ඒ අනුව බලනවිට ජනාධිපතිවරයා පිළිබඳ පාප්තුමන්ගේ ඉදිරි අදහස් දැක්වීම් යම් විනිශ්චයක් ලෙස බාර ගැනීමට වුව හැකිවනු ඇත. මේ ප්‍රකාශයත් සමඟ ජනාධීපතිවරණ සමයේදී ට්‍රම්ප්ට තිබූ එක් සැකයක් නිරාකරණය වේ. ඒ, තමා පිළිබඳ පාප්තුමන් කළ තියුණු අදහස් දැක්වීම විනිශ්චයක් නොවන බවය. අමෙරිකානු ජනයා ද එය විනිශ්චයක් ලෙස බාර නොගත් බව ඔහු තෝරාගැනීමෙන් පැහැදිලිවිය. ලෝක සාමය උදාකිරීමේ තිර අදිටනින් වතිකානයෙන් නික්ම ගිය ට්‍රම්ප් සිය ප්‍රතිඥාවට කොපමණ අවංකවනු ඇත්ද යන්න සහ කොතෙක්දුරට සාර්ථකවනු ඇති ද යන්න අනාගතයේදී ප්‍රදර්ශනය කරනු ඇත.

Image result for donald trump pope francis

Image result for donald trump pope francis

Image result for donald trump pope francis

 

 

 

 

 

ධම්මික සෙනෙවිරත්න (දිනමිණ)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here