ලොව උසම ඉදිකිරීම් පිළිබඳ පුවත් ඔබ අප කොතෙකුත් අසා ඇත. එහෙත්…ඒ අතරින් කිලෝමීටරයක පමණ උසකින් යුත් දැවැන්ත ඉදිකිරීමක්‌ පිළිබඳ පුවතක්‌ මෙතෙක්‌ ඔබ අසා ඇතිද? ඇතැම් විට අසා නොතිබෙන්නට පුළුවන. මේ වන විටත් එතෙක්‌ මෙතෙක්‌ ලොව වැඩිම උසකින් යුත් විශාලතම ගොඩනැඟිලි සංකීර්ණය ඉදිවෙමින් පවතින අතර එය ඉදිවෙමින් පවතින්නේ අසර්බයිජානයේ “බකූ” අගනගරය තුළය. තරු පන්තියේ හෝටල් සංකීර්ණ, සාප්පු සංකීර්ණ, සිනමාශාලා, සමාජශාලා, ගෘහස්‌ත ක්‍රීඩා සංකීර්ණ ඇතුළු තවත් විවිධ පහසුකම් රාශියකින් මෙම දැවැන්ත ඉදිකිරීම සමන්විතය. ඉදිවෙමින් පවතින මෙම ගොඩනැඟිලි සංකීර්ණය සඳහා වෙන්කොට ඇති භූමි ප්‍රදේශය පමණක්‌ අක්‌කර හයසියයකින් සමන්විත වන අතර එම භූමිය නිර්මාණය කර ඇත්තේ මුහුද ගොඩකිරීමේ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක්‌ ලෙසින්ය.
එක්‌ අන්තයකින් මහා සාගරයෙන් ද, ගොඩබිමෙන් ඉරානය, ජෝර්ජියාව සහ රුසියාවට මායිම් වන්නට පිහිටා ඇති අසර්බයිජානයේ “බකූ” අගනගරයේ නිමවෙමින් පවතින (Crescent Tower) හි ඇති සුවිශේෂී බව පිළිබඳ තබන මේ සටහන් පෙළ තුළ අපට ඇති සුවිශේෂී බව වන්නේ ශ්‍රී ලාංකිකයකුගේ විශේෂඥ දැනුම එම යෝධ ඉදිකිරීමට මුහුවී තිබීමය.

ඔහු නමින් ආචාර්ය චන්දන ජයලත්ය. වරලත් ප්‍රමාණ සමීක්‌ෂකයකු, ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රමෝපායන් පිළිබඳ ලොවම පිළිගත් විශේෂඥවරයකු වන හේ මේ වන විට ඉහත සඳහන් ලොව උසම ගොඩනැඟිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ කොන්ත්‍රාත් උපදේශකවරයෙක්‌ය.

කෙටි නිවාඩුවක්‌ පිණිස පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණි ආචාර්ය චන්දන ජයලත් මහතා මුණගැසීමේ අවස්‌ථාවක්‌ අපට හිමිවූ අතර එහිදී ඔහු මෙතෙක්‌ පැමිණි ගමන් මඟ පිළිබඳ කෙටි පිළිසඳරක යෙදීමේ අවස්‌ථාවක්‌ උදාවිය. ඉදිකිරීම් ක්‌ෂේත්‍රය පිළිබඳ ජාත්‍යන්තර දැනුමකින් හෙබි ආචාර්ය චන්දන ජයලත් මීරිගම කනිෂ්ඨ විද්‍යාලයෙන් පාසල් ගමන ආරම්භ කර ඉන් අනතුරුව ගම්පහ බණ්‌ඩාරනායක විදුහලෙන් උසස්‌ පෙළ සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී (ප්‍රමාණ සමීක්‌ෂණය) උපාධිය ලබාගත් අතර ඔහු ආචාර්ය උපාධිය (තාක්‌ෂණ කළමනාකරණය) හිමිකරගෙන ඇත්තේ දකුණු දිග කැලිෆොනියා විශ්වවිද්‍යාලයෙන්ය.

තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ ආකාරයත් පියවරෙන් පියවර තම ගමන් මඟ ජයගනිමින් අසර්බයිජානයේ ඉදිවන ලොව උසම ගොඩනැඟිල්ල සඳහා තමන් සතු දැනුම ප්‍රදානය කරන්නට හැකිවූ ආකාරයත් පිළිබඳ අදහස්‌ දැක්‌වීම ආරම්භ කළ ආචාර්ය චන්දන ජයලත් ගොඩනැඟිල්ලක්‌ ඉහළට එසවෙන ආකාරයෙන් තමන්ගේ ජීවිතය ඉහළ තලයකට ගමන් කළ ආකාරය ගැන සඳහන් කරමින් කරුණු පවසන්නට විය.

“මම මුලින්ම ඉදිකිරීම් ක්‌ෂේත්‍රය හරහා මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ දඹුල්ල, කන්ඩලම හෝටල් ව්‍යාපෘතිය තුළින්. එතනදී මම ලබපු සුවිශේෂී අත්දැකීම තමයි මෙරට අති විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියා වන ජෙෆ්රි බාවා මහත්තය සමඟ රාජකාරි කිරීම. ඇත්තටම ඒක මම ලබපු සුවිශේෂී අත්දැකීමක්‌. ඊට අමතරව තවත් සඳහන් කළ යුතුම කාරණාවක්‌ තමයි කලක්‌ මම යුද හමුදා නිලධාරියෙක්‌ විදිහට කටයුතු කිරීම. එතනදී ජයසිකුරු, ජයමඟ, පෙරියමඩු මෙහෙයුම් වලට සම්බන්ධ වෙන්න මට අවස්‌ථාව ලැබෙනවා. කපිතාන්වරයෙක්‌ ලෙස යුද හමුදා ස්‌වේච්ඡා බළකායට බැඳෙන මම වසර අටක්‌ යුද හමුදාවේ සේවය කරල “රිවි රැස” “පූර්ණ භූමි” පදක්‌කම් පළඳල ඊට පස්‌සෙ තමයි පළමු වතාවට විදෙස්‌ගත වෙන්නේ…”

“මම මුලින්ම යන්නේ ඩුබායි රාජ්‍යයට. ඒ ගිහින් එරට ගුවන්තොටුපළ ව්‍යාපෘතියකට අනුයුක්‌තව රාජකාරිය අරඹනවා. ගාඩ්නර් සහ තියොබෝල්ට්‌ කියන සමාගම යටතේ තමයි මට රාජකාරි කරන්න සිද්ධ වෙන්නේ. එතනින් මම ඕමානයේ ‘මස්‌කට්‌’ නගරයට යනවා. මම විශ්වාස කරන විදිහට මගේ ජීවිතයේ ස්‌වර්ණමය යුගය ආරම්භ වෙන්නේ මස්‌කට්‌ වලින්. එතනදී ලෝකයේ හතරවැනි විශාලම මුස්‌ලිම් පල්ලිය ඉදිකිරීමේ ව්‍යාපෘතියට මම සම්බන්ධ වෙනවා. එතනදී සිදුවූ තවත් විශේෂ සිදුවීමක්‌ තමයි ෂේක්‌ හමුඩ් සුල්තාන් අල් හුස්‌නි කියන පුද්ගලයව හඳුනාගැනීම. ඔහු එරට රාජකීය පවුලක සාමාජිකයෙක්‌. ඒ වගේම ධන කුවේරයෙක්‌. එයට අමතරව ඔහු මස්‌කට්‌ අගනගරයේ නගරසභාවේ අධ්‍යක්‌ෂවරයා. ඔහු මගේ හැකියාවන් හඳුනාගත් පුද්ගලයෙක්‌. ඒ රටේ තිබෙන විශේෂත්වයක්‌ තමයි පුද්ගල හැකියාවන්ට නියම වටිනාකම ලබාදීම. හරියට වැඩකරන්න පුළුවන් දක්‌ෂ පුද්ගලයන්ව හඳුනාගෙන ඒ අයට හිමිවිය යුතු වටිනාකම සුදුසු ස්‌ථානය ලබාදීල ඒ රටට සේවයක්‌ ගැනීම තමයි ඒ අයගේ මූලික අභිප්‍රාය වෙන්නේ. ඇත්තම ප්‍රකාශ කරනවා නම් ඕනම රටක යම් හැකියාවක්‌ සහිත මානව සම්පතක්‌ පවතිනවා නම් ඒවා හඳුනාගෙන ඒ අයගෙන් රටට යම් සේවයක්‌ ලබාගැනීම රාජ්‍යයක්‌ සතු වගකීමක්‌. ලෝකයේ බොහෝ රටවල් දියුණුව කරා ගියේ ඒ මාර්ගයෙන්. ඕමානය කියන්නෙත් එහෙම රටක්‌. යම් කෙනකුගේ කුමන හෝ විශේෂඥතාවක්‌ පවතිනවා නම් එයාට අවශ්‍ය වැටුප දීල සුදුසු පරිසරයක්‌ නිර්මාණකර දීල ඒ ඒ පුද්ගලයාව සුදුසු ස්‌ථානවල තබනවා. ඒ හරහා රටට අවශ්‍ය දේ ලබාගන්නවා.

සුල්තාන් අල් හුස්‌නි මට පුද්ගලිකව ආරාධනා කරනව මස්‌කට්‌ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රමාණ සමීක්‌ෂණ නිලධාරියා ලෙස කටයුතු කරන්න කියලා. මම ඒ ආරාධනාව සතුටින් භාර අරගෙන වසර හයක්‌ එතැන සේවය කරනවා. එහිදී රාජකීය පවුල්වල විශාල පිරිසක්‌ ඊට අමතරව විවිධ වෘත්තිකයන් ඔය ආදී සමුහයක්‌ එක්‌ක සම්බන්ධව මම රාජකාරී කරනවා. ඒ අතරතුර අවස්‌ථා කීපයකදී ලෝකයේ ඉතාමත් පිරිසිදුම නගරය ලෙස “මස්‌කට්‌” නගරය ඇගයීමට පවා ලක්‌වෙනවා.

“මස්‌කට්‌” නගරයේ වසර හයක්‌ රාජකාරී සිදුකරන ආචාර්ය චන්දන ජයලත් ඉන් අනතුරුව වසරක කාලයක්‌ එංගලන්තයේ ජීවත් වන්නේය. නැවත කටාර් රාජ්‍යය වෙත පැමිණෙන ආචාර්ය චන්දන ජයලත් එහිදී රජයේ වැඩ අධිකාරියේ සේවයේ නිරත වන අතර එහිදී ඔහුගේ විශේෂඥ දැනුම යොදාගනු ලබන්නේ එරට ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ සිදුවන ගැටලු නිරාකරණය කරගැනීම පිණිසය. ඒ පිළිබඳ ප්‍රාමාණිකයකු වන ආචාර්ය චන්දන ජයලත් හට ලොව උසම ඉදිකිරීමේ ව්‍යාපෘතියේ විශේෂඥවරයකු ලෙස සේවය කිරීමට ඇරයුම් ලැබෙන්නේ ඉන් අනතුරුවය.

“ඔය අතරේ තමයි මට අසර්බයිජානයේ මේ වන විටත් ඉදිකරමින් පවතින ලෝකයේ උසම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් විශේෂඥවරයෙක්‌ ලෙස රාජකාරි කරන්න ඇරයුම ලැබෙන්නේ. මම හිතන්නේ ඒක අහඹු සිදුවීමක්‌ කියල. මොකද මගේ එහෙම අදහසක්‌ නොතිබූ වේලාවක තමයි මට මේ ඇරයුම ලැබෙන්නේ. ඒක මම ජාත්‍යන්තරයත් එක්‌ක තිබුණ සම්බන්ධතා හේතුවෙන් ලැබුණ ආරාධනාවක්‌ වෙන්න පුළුවන්. මොකද ගල්ෆ් කලාපයේ තිබෙන රටවල් හත සමඟ ඒ රටවල වෘත්තීය ප්‍රජාව සමඟ මගේ සමීප ඇසුරක්‌ පැවතීම ඒකට තවත් හේතුවක්‌ වෙන්න ඇති.

ඉතිං අපි මේ ඉදිකිරීම ගැන කතා කළොත් මම මේ ව්‍යාපෘතිය හා සම්බන්ධවෙලා මේ වෙද්දී වසර 3 ක්‌ වෙනවා. දැනට මෙම ගොඩනැඟිල්ලේ යෝජිත උස ප්‍රමාණය කිලෝමීටරයක්‌, නමුත් ඒ රටේ භූ දේශපාලනයේ වෙනස්‌කම් එක්‌ක ඇතැම් විට එහි වෙනසක්‌ සිදුවිය හැකියි. අනෙක්‌ විශේෂ කරුණ තමයි මේක අසර්බයිජානයේ පුද්ගලික ආයෝජකයන්ගේ මුදලින් කරන ව්‍යාපෘතියක්‌ වීම. මම දන්න විදිහට මේ සඳහා වැඩිම මුදලක්‌ ආයෝජනය කරල තියෙන්නේ ලෝකයේ 16 වැනි පොහොසතා. මේ ඉදිකිරීම සඳහා වන මුළු භූමි ප්‍රමාණය නිර්මාණය කරල තියෙන්නෙ කැස්‌පියන් මුහුද ගොඩකිරීමෙන්.

ඉදිකිරීම් පැත්තෙන් ගත්තොත් මේ ව්‍යාපෘතියේ වැඩි බරක්‌ උසුලන්නේ ඇමෙරිකාව විසින්. ඊට අමතරව තවත් සමාගම් සමූහයක්‌ මේ කටයුත්ත සඳහා ඔවුන්ගේ දායකත්වය සපයනව. ඒ අතරින් මෙම ඉදිකිරීම සඳහා මානව සම්පත බහුල ලෙස අරගෙන තිබෙන්නේ තුර්කි රාජ්‍යයෙන්. ඒකට විශේෂතම හේතුව තමයි තුර්කි ජාතිකයන් තුළ පවතින වැඩකිරීමේ හැකියාව. විශේෂයෙන් අසර්බයිජානය කියන්නේ ශීත දේශගුණයක්‌ සහිත රටක්‌ වීමත් එවැනි දේශගුණික තත්ත්වයක තුර්කි ජාතිකයන්ට වැඩෙහි යෙදීමේ ඇති හැකියාවත් ඒ සඳහා බලපෑ තවත් කාරණයක්‌ ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. දවසේ පැය 24 පුරාම තුන්දහසකට අධික ශ්‍රමිකයන් පිරිසක්‌ මේ ස්‌ථානයේ රාජකාරි කරනවා….

අනෙක්‌ පැත්තෙන් ගත්තොත් නවීන තාක්‌ෂණය උපරිම ලෙස යොදාගැනීමක්‌ මෙහි දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම ඇමෙරිකන් තාක්‌ෂණය එහිදී කැපීපෙනෙන මෙහෙවරක යෙදෙනව කිව්වොත් නිවැරැදියි. මොකද අද ලෝකයේ නව ප්‍රවණතාවක්‌ වන “පේපර්ලස්‌” ක්‍රමයට තමයි වැඩබිමේ සියලු දේම සිද්ධ වෙන්නේ. යමක්‌ පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ලිපිගොනු එහා මෙහා ගෙනයැම නිලධාරීන්ගේ දෙපාමුලට ඒව රැගෙන යැම ආදී පැරැණි ක්‍රම වෙනුවට එතැන භාවිත කරන්නේ නවීන ක්‍රමෝපායන් එතනදී යමක්‌ පිළිබඳ තීන්දුවක්‌ ගන්නවා නම් එවෙලෙම ගන්න පුළුවන් ක්‍රමයක්‌ ක්‍රියාත්මක වෙනවා..”

අදාළ ඉදිකිරීමෙන් මදකට බැහැරවෙලා අසර්බයිජානය කියන රට ගැන කතා කළොත් “බකූ” කියන්නේ මුළුමනින්ම සංස්‌කෘතික නගරයක්‌. ආවර්තිතා වගුව ඒ රටේ නිර්මාණයක්‌. ලෝක පූජිත ලේඛක පුෂ්කින් තමන්ගෙ ජීවිතයෙන් වැඩි කලක්‌ ගත කරල තියෙන්නෙ අසර්බයිජානයේ.

ආචාර්ය චන්දන ජයලත් විසින් එතෙක්‌ කරගෙන ආ කථාබහ නතර කිරීමට පෙර අවසන් වරටත් ඔහු විසින් ප්‍රකාශ කර සිsටියේ ලොව දැවැන්තම ඉදිකිරීම සිදුවන “බකු” නගරය සංස්‌කෘතික නගරයක්‌ සේම ලොව විනීතම මිනිසුන් ජීවත්වන ප්‍රදේශයක්‌ බව තමන් අත්දැකීමෙන්ම වටහාගත් දෙයක්‌ බවත් ආර්ථික සමාජීය සංස්‌කෘතික අතින් අසර්බයි ජානය ඉහළ තලයකට පිවිසීමට එයද එක්‌ හේතුවක්‌ වී ඇති බවත්ය. එම ඉදිකිරීමේ වීඩියෝව පහතින්.
උපුටාගැනීම: දිවයින,

රුවන් ජයවර්ධන

DCIM100MEDIADJI_0037.JPG

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here