උතුරු ලන්ඩනයේ මුස්ලිම් දේවස්ථානයක් ආශ්‍රිතව සිදුවූ ප්‍රහාරයද ලොමු දැහැගැන්වෙන ප්‍රහාරයක් බව බ්‍රිතාන්‍ය අගමැතිනී තේරේසා මේ පවසයි.  ෆින්ස්බරි පාක් හි මුස්ලිම් දේවස්ථානයක් අසලදී පදිකයන් පිරිසක් යට කරමින් ගමන් කළ වෑන් රථයක් හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.  කෙසේ වෙතත්, මියගිය පුද්ගලයා මෙම වෑන් රථයේ ගැටීම හේතුවෙන්ම ජීවිතක්ෂයට පත්වූයේද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවද කියැවෙයි.  කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් 47 හැවිරිදි ඩැරන් ඔස්බෝන් නැමැත්තා මනුෂ්‍ය ඝාතන තැත්කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්ව තිබුණි.

මෙය හිතාමතාම බ්‍රිතාන්‍යයේ මුස්ලිම්වරු ඉලක්ක කළ ප්‍රහාරයක් බව පැහැදිලි යැයි මෙට්‍රොපොලිටන් පොලිස් ප්‍රධානී ක්‍රෙස්ඩා ඩික් පැවසීය. ඒ අනුව, මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර, විශේෂයෙන් මුස්ලිම් දේවස්ථානය අසල ආරක්ෂාව වැඩි කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.

බ්‍රිතාන්‍ය තුළ මාසයක් ඇතුළත මෙවැනි ප්‍රහාර එල්ල වූ සිව්වැනි අවස්ථාව ලෙස මෙය සැලකෙන අතර, මීට පෙර බ්‍රිතාන්‍ය වැසියන් ඉලක්ක කරමින් ඉස්ලාම් රාජ්‍යයේ හුදකලා ත්‍රස්තයන් විසින් වෙස්ට්මිනිස්ටර්, මැන්චෙස්ට් හා ලන්ඩන් පාලම ආශ්‍රිතව ප්‍රහාර එල්ල කළහ.  මෙම ආසන්නතම සිදුවීමට මුහුණදී ඇති සියලු දෙනා මුස්ලිම් ජාතිකයන් බවත්, ඔවුන් රාමදාන් උපවාසය අවසන් වී ආගමික වතාවත්වල යෙදීමෙන් පසුව පැමිණෙමින් සිටි පිරිසක් බවද පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here