රොෂාන් මහානාමගෙන් වෙහෙරතැන්නට පාසලක්‌

0
16

යුද හමුදාවේ ඉල්ලීමකට අනුව උදාරත්වය සහ ත්‍යාගශීලීත්වය ප්‍රදර්ශනය කරමින් හිටපු ලෝක ප්‍රකට ක්‍රිකට්‌ ක්‍රීඩකයකු විසින් වවුනියාව දිස්‌ත්‍රික්‌කයේ පිහිටි වෙහෙරතැන්න ගම්මානයේ මෙම නව පාසල ඉදිකිරීමට කටයුතු කරන ලදී.

රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාලය ලෙස නම් කර ඇති මෙම ප්‍රාථමික විද්‍යාලය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දක්‌වන ක්‍රිකට්‌ ක්‍රීඩක රොෂාන් මහානාම, රුපියල් මිලියන 3 කට ආසන්න මුදලක්‌ වැය කර ඇති අතර, එහි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා 62 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී. එච්. එම්. ඒ. විඡේසිංහගේ මඟපෙන්වීම මත 26 වැනි සිංහ රෙජිමේන්තුවේ භට පිරිස්‌ විසින් ලබාදුන් ඉංජිනේරු සහාය සහ ශ්‍රමදායකත්වය පිළිබඳ ස්‌තුතිය ද මෙහිදී පුද කළහ.

වෙහෙරතැන්න ප්‍රදේශවාසීන්ගේ දිගුකාලීන අවශ්‍යතාවක්‌ව පැවැති මෙම පාසල් ගොඩනැඟිල්ල පන්ති කාමර 05 කින් සමන්විත වන අතර, එහි ඉදිකිරීම් කටයුතු සඳහා මාස 08 ක පමණ කාලයක්‌ ගත වී ඇත.

බදාදා (11 දා) පැවති මෙම පාසල විවෘත කිරීමේ උත්සව අවස්‌ථාව සඳහා රොෂාන් මහානාම, වන්නි ආරක්‌ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග, 62 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී. එච්. එම්. ඒ. විඡේසිංහ, 623 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රසන්න ගුණරත්න, කලාප අධ්‍යාපන අධ්‍යක්‌ෂ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පාසලේ විදුහල්පති, ගුරුවරුන් හා සිවිල් වැසියන් ද සහභාගි වූහ.

මෙම නව පාසල් ගොඩනැඟිල්ල විවෘත කළ දිනයේ දී සිසුන් 44 ක්‌ ඇතුළත් කළ අතර, 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්‌වා පන්ති පැවැත්වීමට මෙහි පහසුකම් සලසා ඇත.

මෙම අවස්‌ථාවේ දී කලාප අධ්‍යාපන අධ්‍යක්‌ෂ විසින් නව ප්‍රාථමික විද්‍යාලයේ භාරකාරත්වය නිල වශයෙන් භාර ගත් අතර, මෙම පාසල සඳහා ගුරුවරුන් හා අවශ්‍ය ගෘහ භාණ්‌ඩ සපයාදෙමින් සිය සහයෝගය ද දක්‌වන ලදී.

සාම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව පළමු ළමුන් කණ්‌ඩායම ඇතුළත් කිරීමේ කටයුතු සිදුකෙරිණි.

එමෙන්ම, මෙම විද්‍යාලයේ විදුහල්පති ක්‍රිෂාන්ත ජයසූරිය මහතා උත්සව සභාව අමතමින් රොෂාන් මහානාම මහතා කළ උපකාරය ප්‍රශංසාවට ලක්‌ කළ අතර, වන්නි ආරක්‌ෂක සේනා මූලස්‌ථානය යටතේ ස්‌ථාපිත 62 වැනි සේනාංකයේ භට පිරිස්‌ ලබාදුන් ඉමහත් දායකත්වයත් ඇගයීමට ද ලක්‌ කළහ.

තවද, පාසල් සිසුන් වෙත පාසල් බෑගයක්‌, නිල ඇඳුම් කට්‌ටල දෙකක්‌, පාවහන් සහ අනෙකුත් පාසල් උපකරණ අඩංගු රුපියල් 5000 ක්‌ වටිනා ත්‍යාග පාර්සල් ද එහිදී ලබාදෙන ලදී.

මීට අමතරව, රොෂාන් මහානාම මහතා ඇතුළු අනෙකුත් පිරිස විසින් පාසලේ ක්‍රීඩා කටයුතු සඳහා ක්‍රීඩා භාණ්‌ඩ ද, ගුරුවරුන් වෙත ත්‍යාග පාර්සල් ද ප්‍රදානය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here