මෝනාලිසාව දන්නවාද ?

0
52

මෝනාලිසාගේ සිනාව ඉතාලියට පමණක් නොව බොහෝ නිවෙස්වලට ගෘහ අලංකරණයක් ගෙන එන්නේ සියවස් ගණනාවක සිටය. අබිරහස් සිනාව මේ සිතුවමේ ජනප්‍රිය බවේ ප්‍රධාන රහසය. මෑතකදී විද්‍යාඥයන් පාරජම්බුල හා අධෝරක්ත කිරණ භාවිත කරමින් පවා මේ සිතුවමේ සැඟවුණු ගැඹුරු රහස් සොයන්නේ ඔවුන්ද සැබැවින්ම වශීකෘත වී සිටින නිසාය. මුහුදු පත්ලක් තරමටම මෝනාලිසාද ගුප්තය.

චිත්‍ර ශිල්පියකු පමණක් නොව විද්‍යාඥයකු, ප්‍රතිමාකරුවකු, ගෘහ නිර්මාණ ශිල්පියකු, සංගීතවේදියකු, ගණිතඥයකු වූ ලියනාඩෝ ඩාවින්චි සිතුවම කිරීමේදී මේ සකල විධ වූ අංශවල කුසලතාවන් තර්කානුකූලව උපයෝගී කර ගත්තේය.

මෝනාලිසා ඉදිරියේ සිටින්නකුට සිතෙන්නේ ඇය මඳ සිනාවක් පාන බවය. එහෙත් සිතුවමේ දෙතොල් දෙස බැලූ විට හැඟී යන්නේ ඇයගේ මුහුණේ සිනාවක් නොමැති බවයි. “ස්පර්ශ කළ නොහැකි සිනාවක්” ලෙස මෝනාලිසාගේ සිනාව හඳුන්වන්නේ බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් හල්ලාම් විශ්වවිද්‍යාලයේ හා සන්ඩ්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ය.

ඔවුන්ගේ අදහසට අනුව ස්පර්ශ කළ නොහැකි සිනාව ඩාවින්චිගේ අතිදක්ෂ දෘෂ්ටි ප්‍රයෝගයකි. මෝනාලිසාගේ මුව අසල පෙදෙසේ ඉතාම සියුම් වර්ණ සංයෝගයක් මඟින් එම අසිරිය ඔහු මවා ඇත.

ඩාවින්චි මේ සිතුවම ඇඳීමට පෙර ලාබෙලා ප්‍රින්සි පෙන්සා නම් සිතුවම කර තිබෙන අතර එහිද මෙම දෘෂ්ටි ප්‍රයෝගය යොදාගෙන තිබේ.

සිනාවට අමතරව තවත් දෘෂ්ටි ප්‍රයෝග මෙහි ඇත. සිතුවම දෙස කෙළින්ම බලන විට ඇයගේ දෙතොල් පහතට නැමී ඇති ආකාරයක් පෙනෙන අතර සිතුව මේ අනෙක් කොටස් දෙස බලන විට මෝනාලිසාගේ මුව උඩු අතට හැරී මඳ සිනාවක් පාන අන්දමක් පෙනේ. මෝනාලිසාගේ සිනාව නිසායාකාරව දැක ගැනීමට නම් වෙනත් මානයක සිට බැලිය යුතුය. මේ සිතුවම් ශිල්ප උපක්‍රමය හඳුන්වන්නේ “සුෆුමාටෝ” ලෙසය. අඳුරු හා අඳුරු නැති වර්ණ සංයෝගයෙන්ද රේඛාවලින් පැහැදිලි නොවන සියුම් අන්දමේ හැඩයක් ජනිත කිරීමට එම ශිල්පීය ක්‍රමයෙන් පුළුවන.

සුෆුමාටෝ ශීල්පීය ක්‍රමය මොනාලිසා චිත්‍රයේ මෙන්ම ලාබෙලා ප්‍රින්සි පෙන්සා සිතුවමේ ද දැකිය හැකිය. සිතුවම් දෙකේම දෙතොල්වල රේඛාමය භාවය බොඳවී දෙතොල් හා මුහුණේ සෙසු ප්‍රදේශ අතර වෙනසක් නොමැති තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ සුෆුමාටෝ ශිල්පීය ක්‍රමයෙනි.

නරඹන්නාගේ අවධානය චිත්‍රයේ දෙනෙත් කෙරේ යොමු වන විට චිත්‍රයේ දෙතොල උඩු අතට හැරෙන ආකාරයට සැකසී ඇත. එහෙත් දෙතොල් වෙත අවධානය යොමු කරන විට ඒ දෙතොල් තද කරගෙන සිටින ආකාරයක් පෙන්නුම් කෙරේ. සිනාව මෝනාලිසා සහ ලාබෙලා ප්‍රින්සි පෙන්සා සිතුවම් දෙකේම පෙනෙන්නේ දෙතොල් දෙස එක කෙළින් නොබලන විටය.

මෑතකදී අධෝරක්ත කිරණ මඟින් අනාවරණය කරගත් කරුණු අනුව ලුමියර් තාක්ෂණයේ නිර්මාතෘ කෝටේ පවසන්නේ මෝනාලිසාගේ මුහුණ තරමක් පළල් බවත් සිනාව වගේම දෑස්වලද වෙනසක් ඇති බවය.

මෝනාලිසාට ඇහි බැමක් ඇති බව බැලූ බැල්මට නොපෙනුණත් අධෝරක්ත කිරණවලින් හෙළිවී ඇත්තේ එක් රෝමයක් ඇඳ ඇති බවයි. සිතුවමේ දකුණු අතේ මැණික් කටුව උදරයට ඉහළින් තිබෙන බව පෙනුණද ගැඹුරු අධෝරක්ත කිරණ නිරීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව ඇය අත ඔසවාගෙන සිටින්නීය. සිතුවමේ වම් ඇඟිල්ල ඩාවින්චි සම්පූර්ණයෙන්ම ඇඳ අවසන්කර නැත.

සිතුවමේ නෙත් කෙළවරේ සහ නිකටේ ඇති පැල්ලම කියාපාන්නේ ඇය රෝගී බවය. එහෙත් එය වර්ණ ගැන්වීමේදී වූ අනතුරක්වීමටද හැකි බව කෝටේගේ අදහසයි.

සහස් සුවහස් ජනකායකගේ දෙනෙතට රසඳුනක් වූ ‍මෝනාලිසා, සැබෑවටම ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ ජීවත්වූ රදල කාන්තාවක් වන ලී ජෙරාර්ඩ්නිගේ ආලේඛ්‍ය සිතුවමය. 1503 – 1506 කාලයේදී නිමවූ සිතුවමේ දින වකවානු නිශ්චිතව පැවසීමට කෝටේ විද්‍යාඥයාටවත් තවමත් හැකිවී නැත.

ලී ජෙරාර්ඩ්නි ධනවත් සේද රෙදි ව්‍යාපාරිකයකුගේ බිරියයි. ඇය පස් දරු මවකි. රාජ්‍ය සේවයට සම්බන්ධ වු ඇයගෙ සැමියා ෆ්‍රැන්සෙස් කෝ ඩෙලි ගියෝ කොන්ඩෝ ඩාවින්චිට තම බිරිය සිතුවමට නැඟීමට කළ ඉල්ලීම නිසා මෝනාලිසා සිතුවම බිහිවී ඇත.

ෆ්‍රැන්සෙස්ගේ මරණින් පසු ආගමික ජීවිතයක් ගතකළ ඇය 1542 දී වයස අවුරුද 63 ද ඉක්මවූ පසු මිය ගොස් තිබේ.

මෝනාලිසාට ගුප්ත සිනාව ලබාදුන් ලා බාල ප්‍රින්සි පෙන්සාගේ රුවේ සැබෑ උරුමක්කාරිය‍ දහතුන් හැවිරිදි බියැන්කා එස්ෆෝසාය. ඇය ඉතාලියේ මිලාන් නගරයේ ආදිපාද ලුඩෝවිකෝ එස්ෆෝසාගේ දියණියයි. ඇය මිලානෝ හමුදා අංශයේ අණ දෙන නිලධාරියකු සමඟ විවාහ වීමට පෙර මේ සිතුවම අන්දවා තිබේ.

ඩාවින්චි‍ගේ අබිරහස් වෙනස්වන සිනාව ඔහුගේ “වර්ජින් ඔෆ් දරොක්ස්” සිතුවමේද අඩංගුය.

සොළොස්වන සියවසේ සිට විසි එක්වැනි සියවස දක්වාත් මායාකාරී සිනාවකින් සංග්‍රහ කරන මෝනාලිසා මෙතරම් හද බැඳගත්තේ ඇයි? සිතුවම අබියසට යන ‍ඕනෑම කෙනකුගේ දෙනෙතම ඊට පිළිතුරු සොයනු ඇත.

අන්තර්ජාලයෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here