මොහොමඩ් අලිගේ පුතා අසරණ වෙයි.

0
46

ලෝක ප්‍රකට බොක්සිං ශූර මොහොමඩ් අලිගේ මරණය සිදුව වසරක පමණ කාලයක් දැන් ගෙවී ගොස් ඇත. නමුත් ඔහුට අයත් අමෙරිකා ඩොලර් මිලියන 80ක පමණ දේපළ බෙදාගැනීම පිළිබඳ ගැටලුවට තවමත් නිශ්චිත පිළිතුරක් නැත. මේ නිසා තමන්ට අසාධාරණයක් සිදු වුණු බැව් ලෝක බොක්සිං ශුර මොහොමඩ් අලිගේ එකම පුතා හැටියට නිත්‍යනුකූලව සැලකෙන මොහොමඩ් අලි කනිෂ්ඨ පවසයි. මොහොමඩ් අලි කනිෂ්ඨගේ මේ ප්‍රකාශය ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවාවන් රැසකට පසුගිය සතියේදී හොඳ රසවත් මාතෘකාවක් වී තිබිණ.

මොහොමඩ් අලි සතුව පැවැති අමෙරිකා ඩොලර් මිලියන 80ක පමණ වටිනා වත්තක් අලිගේ මරණින් පසු ඔහුගේ දරුවන් නව දෙනාටත් බිරියටත් අයිති වී ඇත. දේපල එකී පිරිස අතර බෙදී යා යුතුවද තිබේ. එම බෙදුම සම්බන්ධයෙන් පූර්වයෙන් ඇති කරගත් එකඟතාවක් මත අමෙරිකා ඩොලර් මිලියන 6ක පමණ දේපළ මොහොමඩ් අලි කනිෂ්ඨට ලැබිය යුතුය. එසේ වුවත් පසුගිය මාස දෙකක කාලය තුළ තුන් අවස්ථාවකදී අමෙරිකා ඩොලර් 2500ක් පමණක් තමන්ට ලැබුණු බව හෙතෙම පවසයි. මෙවැනි තත්ත්වයක් මතුවන්නට මුල් වී තිබෙන්නේ මොහොමඩ් අලිගේ සිව් වන බිරිය යෙලන්ඩා හෙවත් ලොනිගේ මැදිහත්වීම සහ දරුවන් අතර පවත්නා නොරිස්සුම් සහගත තත්ත්වයයි.

“…මෙයින් පෙනී යන්නේ මාව මුළුමනින්ම කපා දැමුවා වැනි දෙයක්නේ. මට බැංකු ගිණුමක් නැහැ. ඒ නිසා ඔවුන් මට මුදල් එවිය යුත්තේ වෙනත් ආකාරයකටයි. …. පසුගිය අවුරුද්ද මා ගෙවා දැමුවේ ඉතාමත් අසීරුතා මැද. මම මෙවැනි තත්ත්වයක හිඳිම නොවෙයි මගේ තාත්තා බලාපොරොත්තු වුණේ. ඔහුට වුවමනා වුණේ මම පහසුවෙන් ජීවත්වනවා දකින්න. මටම කියලා ගෙදරක් තියෙනවා දකින්න. මගේම කියලා සල්ලි තියෙනවා දකින්න. …” යැයි කියා මොහොමඩ් අලි කනිෂ්ඨ මාධ්‍යට පවසා තිබිණ.

45 වැනි වියෙහි පසුවන මොහොමඩ් අලි කනිෂ්ඨ විවාහකයෙකි. දෙදරු පියෙකි. නමුත් ඔහු කිසි දිනෙක හරිහැටි රැකියාවක් නොකළේය. වසර එකොළහක විවාහ දිවිය ඇතුළත ඔහු පවුලේ බර කරට ගත්තේ ඉතාමත් අල්ප වශයෙනි. හෙද තාක්ෂණ නිලධාරිනියක හැටියට සේවය කරන ඔහුගේ බිරිය – ෂාකිරා අලි විවාහ දිවියේ ප්‍රශ්න දුක් කරදර සියල්ලක්ම තනිව දැරුවාය. ඒ මුළු කාලය තුළම මොහොමඩ් අලි කළේ එක රස්සාවකින් තවත් එකකට මාරු වෙමින් කාලය ගත කිරීමය. ස්ථිර රැකියාවක නියැලී හරිහම්බ කරන්නට බැරි නමුත් ඔහුට අපමණ වියදම් නම් තිබිණ. ඔහු අතින් වැඩිම මුදලක් විය – පැහැදම් වුණේ කොකේන්, මරිජුවානා සහ හෙරොයින් වැනි මත්ද්‍රව්‍යය සඳහාය. මේ තත්ත්වය තුළ මොහොමඩ් අලි කනිෂ්ඨ සහ ඔහුගේ පවුලේ උදවිය ගෙනගියේ බෙහෙවින්ම දුඛිත සහ අස්ථාවර ජීවිතයක්. ඔවුහූ අන්ත දිළින්දෝද වූහ. එදිනෙදා කෑමට අවශ්‍ය දේ සරි කරගන්නට වේලෙන් වේලට වෙහෙස වන්නට ඔවුන්ට සිදු විය. ඔවුන්ට ජීවත් වන්නට නිවෙසක් තිබුණේ ද නැත. කාලයක් තමන් නිදා ගත්තේ ෆ්ලොරිඩාහි වසන තම මිතුරකුගේ නිවෙසෙහි අගු පිලක බව මොහොමඩ් අලි කනිෂ්ඨ වරක් පවසා තිබිණ.

මේ දුෂ්කරතා මැද මොහොමඩ් අලි කනිෂ්ඨට විවාහ දිවියත් පසුගිය දා අහිමි වූයේය. ඒ ගැන කතාකරන ෂාකිරා අලි පවසන්නේ තමන් සහ දියණියන් දෙදෙනා හැර දමා තම සැමියා පවුල් සංස්ථාවෙන් පිටමන් වූ බවකි. නමුත් මොහොමඩ් අලි කනිෂ්ඨ කියන්නේ ෂාකිරා තමන් නිවෙසින් පන්නා දැමූ බවයි.

බොක්සිං ක්‍රීඩාවෙන් නමක් රඳවාගෙන සිටියත් මොහොමඩ් අලි ගත කළේද පිළිවෙලක් නැති විවාහ ජීවිතයකි. ඒ අපිළිවෙල නිසාම ඔහු සිව්වරක් විවාහ වූයේය; ඉන් මතු ඔහු තවත් ගැහැනුන් රැසක් සමඟ ප්‍රේම සබඳතා පැවැත්වූයේය. ඔහුගේ පළමු විවාහය සිදු වූයේ 1964 දී බව දැක්වේ. වේටර්වරියක වූ සොන්ජි රෝයි ඔහුගේ පළමු බිරියයි. 1966 දී ඔවුහූ දික්කසාද වූහ. මොහොමඩ් අලි දෙවැනි වර විවාහ වන්නේ බෙලින්ඩා බොයිඩ් නැමති කාන්තාවක සමඟයි. ඒ විවාහය 1967 වසරේදි සිදු විණ. මොහොමඩ් අලිට දාව බෙලින්ඩා දියණියන් තිදෙනෙකුත් පුතෙකුත් වැදුවාය. ඒ එකම පුතු මොහොමඩ් අලි කනිෂ්ඨය. මොහොමඩ් අලි බෙලින්ඩා සමඟ පැවැති විවාහ සබඳතාව 1977 වසරේදී නිමා කළේ තෙවැනි විවාහයක් කරගන්නා අරමුණ ඇතිවයි. ඔහුගේ තෙවැනි බිරිය වූයේ නිළියක සහ මෝස්‌තර නිරූපිකාවක වූ වෙරෝනිකා පෝර්ශේය. 1977 වසරේදී ඔවුන් දෙදෙනා විවාහ පත් වන විට ද වෙරෝනිකා, අලිට දාව දියණියක ලබා තවත් දරුවකු බිහි කිරීමට සිටි බව දැක්වේ. වෙරෝනිකා සහ අලි අතර විවාහය 1986 වසරේදී බිඳ වැටේ. ඒ වසරේදීම අලි ලෝනී සමඟ විවාහ විය. ඔවුන් අසාද් අමින් පුතු දරුකමට හදා වඩා ගන්නේ මේ විවාහයෙන් අනතුරුවය. මොහොමඩ් අලි ජීවිතක්ෂයට පත් වන තුරු ජිවත් වුණේ ලෝනී සමඟය. මේ විවාහය නිසා ලද දරුවන්ට අමතරව, අලීට දාව උපත ලද තවත් දරුවන් කිහිප දෙනෙකුම සිටින බව දැක්වේ. ඒ, මොහොමඩ් අලි වරින් වර විවිධ තරාතිරමේ ගැහැනුන් සමඟ පැවැත්වූ සම්බන්ධතා නිසාය. මොහොමඩ් අලිගේ එකම සුජාත පුත්‍රයා හැටියට මොහොමඩ් අලි කනිෂ්ඨ සැලකුණත් විවාහයන්ගෙන් පරිබාහිරව වෙනත් ගැහැනියක සමඟ පවත්වාගෙන ගිය සම්බන්ධතාවක් නිසා ලද පුතකු ද සිටින බව මාධ්‍යය මඟින් පසුගිය කාලයේදී අනාවරණය කෙරිණ.

mail online ඇසුරෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here