මෙයට තුන් මාසයකට පමණ පෙර වසර 2016 ඔක්‌තෝබර් 15 වැනිදා ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අයිසැක්‌ සිල්වේරා ලොව පුරා සිටින සිය වෘත්තීය සහෝරදරයන්ට පණිවුඩයක්‌ යවමින් ඒ මාසයේ අන්තිමට සිය පර්යේෂණාගාරයට පැමිණෙන ලෙස ආරාධනයක්‌ කළේය. නූතන ලෝකයේ සිටින විශිෂ්ටතම භෞතික විද්‍යාඥයකු වන අයිසැක්‌ සිල්වේරා සිය පර්යේෂණ සියල්ල සිදු කළේ ශ්‍රී ලාංකික පර්යේෂකයකු වන ආචාර්ය රංග ඩයස්‌ නමැති තරුණයා සමඟය.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයෙන් වසර 2006 දී විද්‍යාවේදී උපාධිය ලබන රංග ඩයස්‌ ඉන් වසරකට පසු ඇමරිකාවේ වොෂිංටන් රාජ්‍ය විශ්වවිද්‍යාලයට පැමිණ ආචර්ය උපාධිය ලබා ගත්තෙකි. මහාචාර්ය අයිසැක්‌ සිල්වේරා නමින් හාවඩ් විශ්වවිද්‍යාලයේ පිහිටුවා ඇති විද්‍යාගාරයේ පර්යේෂකයකු ලෙස 2013 දී වැඩ පටන් ගන්නා ඔහු පසුගිය දිනවල පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණයක නිරත විය. ඝන ද්‍රව්‍යවල චර්යාව, ලෝහ බවට පත්වීමේ ක්‍රියාවලිය සුපිරි සන්නායක තත්ත්වය සහ චුම්බක අනුක්‍රමය එම පර්යේෂණයේ විෂය පථය විය.

මහාචාර්ය අයිසැක්‌ සිල්වේරා, ඔක්‌තෝබර් අන්තිමට තම පර්යේෂණගාරයට එන්නැයි මිත්‍රයන්ට ආරාධනා කරන්නේ රංග ඩයස්‌ සමඟ කළ පර්යේෂණයක ප්‍රතිඵලය පෙන්වීමටය. කුමක්‌ද මේ පර්යේෂණය? හයිඩ්‍රජන් වායුව එකම අමුද්‍රව්‍යය ලෙස යොදා ගෙන ලෝහ තැනීමය. Metallic Hydrogen යනුවෙන් හැඳින්වෙන මේ ලෝහය මේ පෘථිවිය මත පමණක්‌ නොව මුළු මහත් විශ්වයේ ද කොතැනකවත් නැත.

මහාචාර්ය සිල්වේරා සහ ආචාර්ය රංග ඩයස්‌ දෙපළගේ ආරාධනය මත නියමිත දිනයේදී භෞතික විද්‍යාඥයන් පිරිසක්‌ පර්යේෂණාගාරයට රොක්‌ වූහ. හයිඩ්‍රජන් වායුවෙන් ලෝහ සාදන ආකාරය ඔවුන්ට බලා ගැනීමට සලස්‌වන ලද්දේ විශේෂ කාචයක්‌ තුළිනි. කාචය තුළින් බැලූ විට ඔවුන්ට පෙනුණේ දියමන්ති තුඩු දෙකකි. ඒ දෙක අතර හයිඩ්‍රජන් අණුවක්‌ තබා ඇති බව ආචාර්ය රංග ඩයස්‌ කීවේය. එහෙත් වාතය නමැති ද්‍රව්‍ය ඇසට නොපෙනීමේ පදනම මත හයිඩ්‍රජන් අනුව ද පෙනුණේ නැත. ස්‌වල්ප වේලාවකට පසු දියමන්ති තුඩු දෙක අතුරින් කුඩා අළු පැහැති අංශුවක්‌ හටගත්තේය. එය හයිඩ්‍රජන් ලෝහ අනුවක්‌ බව මහාචාර්ය සිල්වේරා කීවේය. එය සෑදීමේ ක්‍රමවේදය කීවේය.

මුලින්ම හයිඩ්‍රජන් අනුව ෆැරන්හයිට්‌ අංශක 450 ට සිසිල් කරනු ලැබේ. මෙය පෘථිවිය මත ස්‌වභාවිකව නොපවතින ඉතාම අධික සීතලකි. එසේ සිසිල් වන අතර අනුව පවතින්නේ දියමන්ති තුඩු දෙක අතරය. දෙවැනි පියවර වශයෙන් දියමන්ති තුඩු දෙක එකිනෙකට ළං කරමින් හයිඩ්‍රජන් අනුව සුවිශාල තෙරපීමකට ලක්‌කරනු ලැබේ. එය අපේ වායුගෝලය මත ඇති පීඩනය මෙන් මිලියන් 9.8 ගුණයකි. මේ පීඩනය ද ස්‌වාභාවික පෘථිවි ගෝලය මත නැත. එහෙත් එය පෘථිවි හරි මැද හෙවත් මධ්‍ය ලක්ෂ්‍යයේ පවතී. මේ පීඩනයට යටත් වන හයිඩ්‍රජන් අනුව ඝන බවට පත් වේ. එතැන් සිට එය විද්යුත් සන්නායක තත්ත්වයකට පත්වන (විදුලිය ගමන් කරන) ලෝහයක්‌ බවට පත් වන බව මහාචර්ය සිල්වේරා සහ ආචාර්ය රංග ඩයස්‌ කියති.

ඔක්‌සිජන් වායුව අධික පීඩනයකට (පෘථිවි වායු ගෝලය මත ඇති පීඩනය මෙන් හාරසිය ගුණයක්‌) ලක්‌ කළ විට ද්‍රව බවට පත් වේ. එහෙත් එම දියරය විවෘත පරිසරයේදී වාෂ්ප වී යයි. පෙට්‍රෝලියම් ගෑස්‌ ද මෙසේම අධික පීඩනයකට ලක්‌ කළ විට ජලය වැනි ද්‍රව්‍යයක්‌ බවට පත් වේ. ඔබේ නිවසේ ඇති ගෑස්‌ සිලින්ඩරය තුළ ඇත්තේ එසේ දියර බවට පත් වූ ගෑස්‌ ය. මෙය හඳුන්වන්නේ LP ගෑස්‌ (ද්‍රව ඉන්ධන) හෙවත් Liquid Pertrolium ලෙස ය. කෙසේ වුවද විවෘත පරිසරයකදී එම දියරය යළි වායුවක්‌ බවට පත් වේ. එහෙත් අධික පීඩනයට ලක්‌ව ලෝහයක්‌ බවට පත් වූ හයිඩ්‍රජන් විවෘත පරිසරය තුළදී නැවත වායුවක්‌ බවට පත් වන්නේ නැත. මේ නිසා වාණිජ මට්‌ටමින් අඩු පිරිවැයක්‌ යටතේ නිපදවිය හැකි නම් හයිඩ්‍රජන් ලෝහය විශාල වශයෙන් වැදගත් ය. මන්ද පෘථිවිය අභ්‍යන්තරයේ ඇති යකඩ නිධි සියල්ල පාවිච්චි කර අවසන් වූ දවසට හයිඩ්‍රජන් ලෝහයෙන් එම අඩුව පිරවිය හැකි බැවිනි.

හයිඩ්‍රජන් ලෝහය තැනීම සඳහා මුලින්ම පර්යේෂණ පවත්වන ලද්දේ 1935 දී ය. හංගේරියානු විද්‍යාඥයකු වූ Eugene wigner සහ ඇමරිකනු විද්‍යාඥයකු වූ Hilland Bell Huntington යන දෙදෙනා මේ ගැන පර්යේෂණ පවත්වා, හයිඩ්‍රජන් අනු අධික පීඩනයක්‌ යටතට පත් කර ලෝහ නිපදවිය හැකි බැව් න්‍යායක්‌ වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

හයිඩ්‍රජන් යනු විශ්වයේ පවත්නා සැහැල්ලු ද්‍රව්‍යයකි. එමගින් බර ලෝහයක්‌ සෑදීමට හැකිවීම පුදුම සහගත දෙයකි. විශේෂයෙන් ම එමගින් විදුලිය අපතේ නොයන සුපිරි සන්නායකයක්‌ ලෙස යොදා ගත හැකි ලෝහයක්‌ තැනිය හැකි නම් මතුයම් දවසකදී එය ආර්ථික වශයෙන් ඉතා වැදත් වනු ඇත්තේ දැනට තිබෙන විද්යුත් සන්නායක සියල්ලෙන්ම විදුලිය බෙහෙවින් අපතේ යන බැවිනි.

 

 

 

 

 

 

 

අශේන් රඹකොස්‌වැව

(උපුටාගැනීම දිවයින පුවත්පතෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here