මීට වසර 6 කට පෙර, පාකිස්තාන තලේබාන් ත්‍රස්තවාදියකුගේ වෙඩි පහරට ගොදුරු වී බරපතල තුවාල ලැබූ නොබෙල් ත්‍යාගලාභිනී මලාලා යූසොෆ්සායි පෙරේදා (29) වසර 6 කට පසු පළමු වරට යළි පාකිස්තානයට පැමිණියාය.

පාකිස්තාන කාන්තා අයිතීන් සුරැකීමේ සංවිධාන කිහිපයක නියෝජිතයන් හමුවී අදහස් දක්වද්දී, තමන්ට යළි පාකිස්තානයට පැමිණෙන්න ලැබීම සම්බන්ධයෙන් මලාලා සතුට පළ කළාය. එම අවස්ථාවේ මලාලා කඳුළු සලන්න වූවාය.

මලාලා ඇගේ පියා සලුද්දීන් සහ මව ද සමඟ පාකිස්තානයට පැමිණියේ, පාකිස්තාන රජයේ විශේෂ ආරක්ෂාවක් යටතේය. තලේබාන් ත්‍රස්තවාදීන්ගේ තර්ජන හේතුවෙන් මලාලාගේ ආරක්ෂාවට විශේෂ පොලිස් සහ හමුදා බළඇණියක් යොදවා තිබුණි.

ඉස්ලාමාබාද් අගනුවර බෙනාසීර් භූතෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී මලාලා දැරියට සහ ඇගේ පවුලේ අයට පාකිස්තාන බලධාරීන්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

20 හැවිරිදි වියෙහි පසුවන මලාලා සහ පාකිස්තාන අගමැති ෂහීද් අබ්බාසි අතර විශේෂ හමුවක් ද පැවැත්විණි. ඒ, ඉස්ලාමාබාද් අගනුවර අගමැති කාර්යාලයේදීය. පාකිස්තාන අගමැතිවරයා සමඟ මලාලා ඡායාරූපවලට ද පෙනී සිටියාය. පාකිස්තාන බාලිකා අධ්‍යාපනය සම්බන්ධයෙන් පමණක් නොව, කාන්තා අයිතිනී සම්බන්ධයෙන් මාලාලා සහ පාකිස්තාන අගමැතිවරයා අතරේ සාකච්ඡා පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here