බොරැල්ල හංදියේ හඳුන්කූරු විකුණන සක්විති රණසිංහගේ අම්මාගේ කඳුලු කතාව මෙන්න.

0
128

“අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ” කියලා වරෙක පිය ගුණ ගීයක් ගයමින් ටී. එම්. මහත්තයා අහනවා.
ඔව් එහෙම බුදු බව ලබනවා නම් ඒ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්නේ අම්මලා කියලා බය නැතුව කියන්න පුළුවන් අම්මලා තවමත් මේ ලෝකේ දරු සෙනෙහස හිතේ දරාගෙන මැරෙනකම් මැරි මැරි ජීවත් වෙනවා.
දරුවෙක් ගැන අම්මා කෙනෙක්ගේ හිතේ තියන සෙනෙහස ගැන වගේම මව් ගුණ ගැන ඕනෑවට වඩා ආලවට්ටං දාන්න ඕනේ නැහැ.
වර්ණනා විස්තර සපයන්න ඕනෙත් නැහැ. මොකද කොච්චර කිව්වත් කියලා ඉවරයක් කරගන්න බැරි දෙයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ අම්මාගේ ආදරේ.
පසුගිය සතියේ දවසක වෙනත් පුවත්පතක සහෝදර මාධ්‍යවේදිනියක් එක්ක පුංචි පිළිසඳරක යෙදෙන වෙලාවක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කියන වචනයේ බර දරන්න පුළුවන් “අම්මා” කෙනෙක් ඉන්නවා කියලා දැනගන්න ලැබුණා.
ඒ වෙන කවුරුත් නෙමෙයි මුළු රටම කාලෙකදී කළඹපු ආන්දෝලනාත්මක චරිතයක් වෙච්ච “සක්විති රණසිංහ”ගේ අම්මා.
ඔව් ඒ වංචාකාරයාගේ අම්මා තමයි. නම දැක්ක ගමන් තරහෙන් පුපුරන අයටත්, කුතුහලයෙන් බලන අයටත්, “තුහ්– නොදකින්” කියලා සාප කරන අයටත් “අම්මා” කියන වචනයේ බර හිතේ තියාගෙන සාවධානව මේ කඳුළු කතාව අහන්න කියලා ඉල්ලා හිටිනවා.
ඉතින් කොහොමින් කොහොම හරි මේ අම්මාව හොයාගෙන යන්න තීරණය කළේ “සක්විතිගේ අම්මා බොරැල්ල හංදියේ හඳුන්කූරු, කපුරුබෝල විකුණනවා” කියලා ආරංචි වුණ නිසා.
ලැබුණු තොරතුරු දිගේ දවස් කීපයක්ම හවස්වරුවේ ඒ අම්මාව හොයාගෙන ගියත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වෙලා අන්තිමටම පසුගිය දවසක ලැබුණු ඔත්තුවකින් සක්විති රණසිංහගේ අම්මාව හොයා ගන්න අපිට පුළුවන් වුණා.
වෙලාව හරියටම කීය ද කියලා කියන්න බැරි වුණත් රාස්සිගේ අව්ව වැටෙන හැන්දෑකරේ. දවස පුරාම මහන්සි වෙලා හරි හරියට වැඩ කරපු කපුටන්, නිල් කොබෙයියන්, කහ කුරුල්ලන් ඇතුළු නේක වර්ණ කුරුළු කිරිල්ලියන් අත් ඔරලෝසුවේ වෙලාව බලන ගමන් ඇගේ හැප්පි හැප්පි කැදලිවලට පියාඹන වෙලාව. බේස්ලයින් පාරේ සුපුරුදු වාහන තදබදයත් එක්ක එන කර්ණ කඨෝර සද්දවලින් ඒ වෙලාවට මුළු බොරැල්ල නගරයම හරිම අවිවේකියි.
හරියට බොරැල්ල මංසන්ධියේ සාප්පු සංකීර්ණයක් ඉදිරිපිට. බැරි බැරි ගාතේ අත් දෙකෙන්ම ලොකු මල්ලක් උස්සාගෙන හිමින් අඩිය තියන්නී, ආයිමත් මල්ල බිමින් තියා එයින් හඳුන්කූරු පෙට්ටි දෙකක් අරන් “අනේ මහත්තයෝ පුංචි උදව්වක් කරන්න” කියන්නි, රවා ගස්සා යන ලොකු සපත්තු දිහා ද, අඩි උස සෙරෙප්පු දිහා ද සුසුම්ලමින් නැවත හැරී බලන්නී, ඇය “අම්මා” නම් විය.
පරණ තාලයේ සාරියක් ඇඳලා ගෙන්දගං පොළොව හොඳට හුරුයි කියන්නාක් මෙන් දෙපා නිරුවත්ව හිමින් හිමින් අඩිය තියන මේ අත්තම්මා දිහාවට මම ගියේ ඇගේ කඳුළු කතාව ඇගෙන්ම දැනගන්නවා කියලා හිතාගෙන.
මාවත් ඉස්සර කරගෙන ජංගම දුරකතනය කණේ තියාගෙන ගියපු තරුණියක් හරි අමාරුවෙන් අඩිය තියන මේ ආත්තම්මාගේ ඇගේ හැප්පිලා පස්සවත් නොබලා කිසි ගාණක් නැතුව ගියා. ඇය ඇගේ හැප්පෙද්දිම අඩි දෙකක් පැත්තකට ගියපු මේ ආත්තම්මා නැවතත් තමන්ගේ වෙළදාම කරන්න වුණා.
මේ අම්මාව කතාවට අල්ලගන්න ක්‍රමයක් කල්පනා කර කර ඇය ඉන්න පැත්තට ගියපු මට හඳුන්කූරු පෙට්ටියක් දික් කරලා “අනේ නෝනා එකක් අරන් මට උදව්වක් කරන්න” කිව්වා. “කීයද අම්මේ ගාන” කියලා අහද්දිම “රු.50 පුතේ” කිව්වා. අම්මගේ අතේ රුපියල් 50 තියලා හඳුන්කූරු පෙට්ටිය අරගෙන ඇගේ වෙළදාමේ යටගියාව හාරවුස්සන ගමන් ඇයත් සමඟ හිතවත් වෙන්න පුළුවන් වුණා.
“අම්මේ මුළු දවසෙම පාරෙ රස්තියාදු වෙලා මහන්සිත් ඇතිනේ යමු ද තේ එකක් බොන්න” කියලා කියන නියාවෙන්ම ඇගේ මුවඟට නැඟුණු කෘතඥතා පූර්වක සිනාවෙන්ම එයට කැමති විත්තිය මට තේරුණා. ඇයව පාර අයිනෙම තිබුණු අවන්හලකට එක්කන් ගියේ ඇයත් සමඟ නිදහසේ පිළිසඳරේ යෙදෙන්න බලාගෙන. අවන්හලේ කොනකට වෙන්න තිබුණ මේසය ඉදිරිපිට පුටුවේ වාඩි වුණු ඇය දැන් මගේ නෙත් ඉදිරියේ. මොහොතකින් අප කළ ඇණවුමෙන් ලද තේ කෝප්පය තොලගාන අතර ඇය මාත් සමඟ ඇගේ නිධාන කතාව දිග හරින්න වුණා.
ඇය නමින් හේවාතමාදූවගේ දොන් චන්ද්‍රලතා. කොම්පඤ්ඥ වීදියේ තමන්ගේ පොඩි කාලේ ගත කළ මේ අම්මා තමන්ගේ තාත්තාගේ ගම වෙන මාතර මාලිම්බඩට යන්නේ හත වසරේදීලු. කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වෙන ඇය හත වසරට වන තෙක් පමණයි අධ්‍යාපනය ලබලා තියෙන්නේ. හරි ආසාවෙන් නොනවත්වා තමන්ගේ කුඩා කාලේ මතකයන් ගැන කියාගෙන යද්දි කතාවට බාධා කරපු මම ඇගේ විවාහය ගැන විස්තර ඇහුවා.
“මම කසාද බැන්දේ අවුරුදු පහලවෙන්. ඒ කාලේ දැන් වගේ බඳින්න වයසක් තිබ්බේ නෑනේ පුතේ.
පහලවෙන් කසාද බැඳලා අවුරුදු විසිදෙක වෙද්දි ළමයි පස් දෙනෙකුත් හැදුවා. එතනින් මගේ ලොකු පුතා මැරුණා.” කියලා අම්මා කියද්දිම මම ඉක්මනින් කතාවේ මාතෘකාව අදාළ කෙනා ගැන ඇහුවා,
“එතකොට අම්මේ සක්විති රණසිංහ කීවෙනි ළමය ද?”
“සක්විති කියන්නේ පුතේ මගේ පස්වෙනි දරුවා. එයා තමයි පවුලේ බාලයා. හරිම කීකරුව හැදිච්ච දරුවෙක් එයා. හොඳට ඉගෙන ගත්ත දරුවෙක්. ශිෂ්‍යත්වෙන් පාස් වෙලා එයා ඩී. එස්. එකට ගියා. ඒ ගියපු පළවෙනි වාරෙම එයා පංතියෙන් පළවෙනියා වුණා.” කියලා.
කවුරු කවුරුත් බනින කවුරුත් නොදන්න ඔහුගේ විත්ති කතාව අම්මා කියාගෙන යන්න වුණා.
“හොඳට හිටපු ළමයෙක් එයා. මං සක්විති ළඟ හිටියානං එයාට අද මෙහෙම වෙන්නේ නැහැ. එයාට තේරෙන කාලේ, මම ළඟින් ඉන්න ඕනේ කාලේ මම රට ගියානේ.
කුවේට්වලට ගියේ. ගිහින් මම අවුරුදු තුනෙන් එද්දි කොල්ලා ගෙදරින් ගිහිල්ලා..” කතාව මොහොතකට නතර විය. ඒ මොහොතේ තියන දුක්ඛ දෝමනස්සයන් ඔක්කොම එකට ගුලි කරලා බර හුස්මක් ඒ අම්ම වාතයට මුහු කළා. මේ වගේ ශෝකාලාප හිතේ හිර කරගෙන කියාගන්න බැරුව මේ ලෝකේ අම්මලා කීදෙනෙක්නං මේ වගේම කඳුළු බිබී ජීවත් වෙනව ද කියලා එවෙලේ මට හිතුණා.
කතාව වෙන අතකට හරවන්න හිතාගෙන සක්විති රණසිංහගේ විවාහය ගැන අම්මාගේ මතක හාරඇවිස්සුවා. කාලයක් ලංකාවේ සුප්‍රසිද්ධ ඉංග්‍රීසි උපකාරක පංති ගුරුවරයෙක් විදිහට හිටපු සක්විති එයාගෙම ගෝලයෙක් එක්ක හිතුවක්කාරකමට විවාහ වුණාලු. ඒත් තමන්ගේ විවාහ මංගල්ලෙට අම්මාව සහභාගී කරගත්තා කියලාත් අම්මා කිව්වා. මේ විස්තර කියාගෙන කියාගෙන යන අතරෙදී තමන්ගේ පුතාට සමාජෙ එල්ල කරපු බොරු චෝදනාවක් ගැනත් ඒ අම්මා කිව්වා.
“ඒත් බොරු කතාවක් උසාවියේ දැම්මානේ. දූෂණ නඩුවක් දැම්මා මගේ පුතාට මේ විවාහය ගාවලා.
මමයි ඇත්ත කියලා ඒකෙන් බේරගත්තේ.” මේ වචනවල කොයිතරම් නම් වේදනා ගැබ් වෙලා ඇත් ද? සමාජෙට කොතරම් වරදකරුවෙක් වුව ද ඇයට ඇගේ දරුවා දරුවාමය.
අම්මා කොහොම පුතාව සාධාරණීකරණය කරන්න හැදුවත් සක්විති රණසිංහ අම්මට තියන ලැදියාව ගැන මට ඇති වුණේ සැකයක්.
“මගේ පුතා මට හොඳට සැලකුවා. බීපු කිරිවලටවත් ණය නැහැ. පුතා ඉස්සර රෑට ඇවිල්ලා ගෑණිට හොරෙන් මට පනස්දාහ, ලක්ෂෙ දීලා යනවා. ඒත් ඒක කවුරුත් දන්නේ නැහැ. හැමෝම කියන්නේ සක්විති අම්මට සැලකුවේ නෑ කියලා.” ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ අම්මාගේ වචනවල දරු සෙනෙහස දොරේ ගලනවා කියලා මට තේරුණා.
සක්විති රණසිංහ විතරක් නොව ඔහුගේ දරුවන් ද තමන්ගේ ආත්තම්මාට ඇති ලැදියාව ඇගේ වචනවලින්ම මට කිව්වා.
“ඉස්සර එයාලා බලන්න ගියහම මට ආපිට එන්න දෙන්නේ නැහැ. මට ඉන්නේ මුණුබුරෙකුයි, මිණිබිරියෙකුයි. මට හරිම ආදරෙයි. තවමත් එහෙමයි. එයාලා දැන් ඉන්නේ පරිවාසේ. නිතරම මම බලන්න යනවා එයාලාව.”
ඉපදිච්ච දවසේ ඉඳන් විඳින විඳවන තමන්ට හුරු පුරුදු දුක මියෙන තුරාවට තමන්ගේ තනිය මකන්න තමන් ළඟින් ඉන්නවා කියලා වටහා ගෙන වගේ හිතේ දුක හංගගෙන හිනා කටින් මේ අම්මා තමන්නේ කඳුළු කතාව කියනවා. හිතන්න, තමන්ගේ දරුවා ලෝකෙටම වරදකරුවෙක් වෙද්දි හව්හරණක් නැති මුණුබුරු, මිණිබිරියන් ඇස් පනාපිට පරිවාසේ ඉද්දි, මුළු රටක්ම තම කුසින් වදාපු දරුවාට චෝදනා කරද්දි අම්මා කෙනෙක්ට මොනතරම් වේදනාවක් ඇත් ද?
“පුතා පොලිසියෙන් අල්ල ගත්තා කියලා ආරංචි වෙද්දි මම මහරගම පොලේ හඳුන්කූරු විකුණනවා. රේඩියෝ එකේ කිව්වා කියලා ආරංචි වුණා. මගේ අතපය පණ නැතුව ගියා. හඳුන්කූරු බෑග් දෙකත් කඩේකින් තියලා මම මිරිහානට ගියා. පොලිසියේ මහත්තුරු පුතාව පෙන්නන්න බෑ කිව්වා. මම අඬ අඬා ඉද්දි එයාලා කිව්වා CID එකට එක්කන් ගියා කියලා.
මම එතනින් CID එකට ගියාම ඒ මහත්තුරු එක එක සහතික අරන් එන්න කිව්වා. ඒ ඔක්කොම සහතික ටිකත් එක්කාසු කරන් පහුවදා මම ගියාම පුතා පෙන්නුවා. මට මුකුත් කියාගන්න බැරිවුණා මම කෑගහලා ඇඬුවා හොඳටම.”
මොහොතකට කතාව නතර කළ අෑ තේ උගුරක් තොල ගාන්න වුණා. ඒ ඇසිල්ලෙන් කල්පනා ලෝකෙක අතරමං වුණ මට “අපි ජීවිතේ ගැන දන්නේ මොනාද” කියලා හිතුණා. ජීවිතේ ඇයට පාඩම් කියා දෙනවා ද නැතිනම් ඈ ජීවිතේට පාඩම් උගන්නන්න යනවා ද යන්න මට තවමත් උභතෝකෝටියක්. නැවතත් අෑ ඔහේ තම හදවතේ තෙරපෙන වේදනා වචනවලට මුදා හරින්නීය.
“මම මාසෙකට හතරපස් සැරයක් යනවා සක්විතිව බලන්න. එයාට හරිම දුකයි.
එයා පසුතැවෙනවා කරපු දේවල් ගැන. එයා නිදහස් වෙලා ආවාම ගත්ත සල්ලි පුළු පුළුවන් විදිහට දෙන්න හිතාගෙන ඉන්නේ.”
කෝටි ගාණක මුදල් වංචා කරලා මුළු ලෝකෙටම වංචාකාරයෙක් වෙච්ච තමන්ගේ පුතාව රකින්න මේ අම්මා කොයිතරම් දේවල් නම් කියනවා ද? අම්මලා එහෙමය.
මේ අම්මා තමන්ගේ ජීවිතේ ලද අත්දැකීම්වලින් පසක් කරගත් සමාජ අවබෝධය ඇගේ සෑම වචනයකම ගැබ්ව ඇත.
“මේ සමාජේ මගේ පුතාට තරම් වෙන කාටවත් මඩ ගහලා නැහැ. මේ සිද්ධිය ගාවලා නාට්ටි පවා රඟපෑවා. ඊට වඩා හොරකං කරපු දේශපාලකයෝ, පාතාලේ අයට මඩ ගහන්නේ නෑ බය නිසා. ඇයි මගේ පුතාට විතරක් මෙහෙම? මගේ වයස දැන් 73යි. මේ අවුරුදු 73ටම අහලා නෑ මේ වගේ මඩ කාපු කෙනෙක් ගැන” ඇය නොනවත්වා හිතේ අමාරුව එළියට දමන්නීය. ඇය කියූ එක වචන පෙලක් හිත ඇතුළේ කොහේදෝ තැනක තවමත් කොනහනවා.
“ඇයි මගේ පුතාට විතරක් මෙහෙම?” ඇගේ මේ පැනය මුළුමහත් සමාජයටම ය.
තුවාලයක් වුණත් පාරන්න පුළුවන් ප්‍රමාණයක් ඇත. කතාවක් තියෙනවා තැලෙන යකඩේ උඩ පැන පැන තලන්න එපා කියලා.
ඒ නිසා කතාව වෙන පැත්තකට හරවන්න හිතාගෙන ඇගේ වෙළදාම ගැන වංහුං ඇහුවා.
පිටකොටුවෙන් රු.15 ගානේ හඳුන්කූරු මිලදීගන්න අම්මා උදේ 10ට විතර දෙවන හරස් වීදියේ හඳුන්කූරු විකුණනවාලු.
ඊට පස්සේ සවස්වරුවේ බොරැල්ල නගරයේ ද රාත්‍රියේ පිටකොටුවේ බස් නැවතුමේ ද වෙළදාම් කරන ඇය තවත් රෑ වුණු පසුව ගාලුමුව‍ෙදාර අභියස වෙළදාම් කරනවාලු. මේ විදිහට රෑට රෑට වෙළදාමේ යද්දි තුන්සැරයක් අම්මගේ සල්ලි හොරු අරන් ගිහින් තියෙනවා කියලත් දැන ගන්න ලැබුණා.
මේ හැමදේම කරලත් දවසකට රු.1500ක් විතර හම්බු කරන මේ අම්මා තමා නවාතැන් ගන්න කොලොන්නාවේ සිංහපුරේ පිහිටි පුංචි නිවසට යන්නේ පාන්දර එකට විතරලු.
“ඉස්සර කළුතර, මාතලේ ගිහින් බිස්නස් කරනවා මම. දැන් ඒ වගේ දුර යන්න බැහැ. හැබැයි මම මැරෙනකං මේ රස්සාව කරනවා.”
ඒ හිතේ හයිය, සාධාරණභාවය ඇය තම දරුවාට දායාද නොකළේ ඇයි කියන ප්‍රශ්නය තවමත් මට තියෙනවා.
මේ හැම කතාවකම අවසානයේ ඇගේ අන්තිම බලාපොරොත්තුවත් මම ඇහුවා.
“මගේ දරුවා නිදහස් වෙනවා දැකලා මම හෙට මළත් මට කමක් නැහැ”
ඒ ඇය ජීවත් කරන එකම බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුව ඇයව ජීවත් කරනවා සේම ඉදිරියටත් දිරිමත් කරාවි.
මිනිසුන් උපතේ සිට මැරෙන තුරාවට කුමක් හෝ දෙයක් හොයාගෙන හැල්මේ දුවති.
විඩාපත්ව හතිලමින් නැවතත් හැරි නොබලමින් දුවයති. අවසන මියැදෙති. කතාවක් ඇත. “මිනිසුන් එති; වෙති; මියෙති” නමුත් ඔවුනට යම් දෙයක් මඟහැරී ඇති සෙයක් නොවැටහෙයි. ප්‍රවේශමෙන් ඔබටත් එය මඟ හැරීමට ඉඩ ඇත. අන් කිසිවක් නොව ඒ “අම්මා”ය.
ඒ විඩාබර නෙත් තවමත් පාර අයිනේ නෙත් යොමා සිටිනවා ඇති, බැරි බැරි ගාතේ දුබල දෙපා තබමින් පියමං කරනවා ඇති, හිතක් පපුවක් නැති කටවල්වලින් අඩත්තේට්ටම් විඳිනවා ඇති, ඒත් තවමත් ඇය ජීවිතය කිමෙක් දැයි හොයනවා ඇති, විමසිල්ලෙන් ඔබටත් ඒ හඬ මඟ දෙපස සිට ඇසෙන්නට පුළුවන්.

 

 

 

 

 

 

 

උපුටා ගැනීම – නිර්මාණි බණ්ඩාරනායක

උපුටා ගැනීම – වෙබ් GOSSIP

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here