පාසලක ආපන ශාලාවේ කසිප්පු පෙරළා.

0
11

හිඟුරක්‌ගොඩ නගරයට ආසන්නයේ පිහිටි ප්‍රධාන පාසලක ආපන ශාලාව තුළ කසිප්පු පෙරමින් සිටි බව කියන එම ආපන ශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයා ගෝඩා ලීටර් 250 ක්‌ සහ කසිප්පු තොගයක්‌ද සමඟ සුරාබදු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් ඉකුත් සිකුරාදා (10දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරක්‌ මත සිදුකළ මෙම වැටලීමේදී කසිප්පු පෙරීමට උපයෝගී කරගත් බැරලයක්‌, තඹ දඟරයක්‌, ගෑස්‌ සිලින්ඩරයක්‌, විශාල ප්‍රමාණයේ ගෑස්‌ ලිපක්‌ ඇතුළු උපකරණ තොගයක්‌ද අත්අඩංගුවට ගෙන ඇත.

මොහු විසින් මෙම කසිප්පු පෙරීමේ ජාවාරම මෙම පාසල් ආපන ශාලාව තුළ කාලයක්‌ තිස්‌සේ සිදුකර ඇති බවද සුරාබදු නිලධාරීන්ගේ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සතියේ දිනවල පාසල් වේලාවෙන් පසුව සවස්‌ වරුවේ සහ රාත්‍රි කාලයේදී සති අන්ත දිනවලදීද ආපන ශාලාව තුළ කසිප්පු පෙරීම සිදුකරන බව සැකකරු විසින් සුරාබදු නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත.

එසේ පෙරන ලද කසිප්පු ප්‍රදේශයේ කසිප්පු විකුණන කාන්තාවකට තොග වශයෙන් අලෙවි කරන බවද ඔහු විසින් වැඩිදුරටත් හෙළිදරව් කොට තිබේ.

මෙම සැකකරු සුරාබදු නිලධාරීන් විසින් ඇප මත නිදහස්‌ කොට ඇති අතර මේ මස 24 දා හිඟුරක්‌ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විමර්ශන සිදුකරන සුරාබදු නිලධාරීහු පැවැසූහ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ සුරාබදු විමර්ශන විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරක්‌ මත එම ඒකකයේ ස්‌ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්‍ෂක පී. එන්. හේමන්ත, සුරාබදු පරීක්‍ෂකවරුන් වන වයි. එස්‌. ඒ. පී. යාපා, ඒ. පී. වීරමන් සුරාබදු නියාමකවරුන් වන ප්‍රියන්ත පුෂ්පකුමාර, සමරනායක, ධනංජය පුෂ්පකුමාර, උපාලි නෙත්තසිංහ, සුරාබදු රියෑදුරන් වන චන්දන උදයප්‍රිය, කමල්සේන යන මහත්වරු විසින් මෙම වැටලීම සිදුකරනු ලැබූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here