පසුගිය අයවැයෙන් අධ්‍යාපනයට වෙන්වූ මුදල් ප්‍රමාණවත්ද?
ඇත්ත වශයෙන්ම ප්‍රමාණවත්. මෙයට පෙර වසරවල් එක්ක බලනවිට දැවැන්ත වැඩිවීමක් තිබෙනවා. මීට පෙර වසරවල ප්‍රාග්ධන වියදම් විදියට වෙන්වුණේ බිලියන දාහතයි. අපට පුලුවන්වුනා ප්‍රාග්ධන වියදම බිලියන දාහතේ ඉදලා බිලියන අසූ තුන දක්වා වැඩිකරන්න. සෑහීමකට පත්වෙන්න පුළුවන්.
 
විපක්ෂය කියන විදියට පසුගිය අයවැයෙන් අධ්‍යාපනයට වෙන්වූ මුදල්වල කප්පාදුවක් සිදුවී ඇතිබව පිළිගන්නේ නැද්ද?
ඇත්තවශයෙන්ම කප්පාදුවක් නැහැ. නමුත් සමහරවිට විශාල මුදල් ප්‍රමාණයක් ලබාදීම තුල පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙන්න පුළුවන්. නමුත සමස්ථයක් ලෙස විශාල ගුණයකින් මුදල් ප්‍රතිපාදන ලැබී තිබෙනවා. ඉතිහාසයේ මෙවැනි මුදලක් ලැබුන යුගයක් තිබිල නැහැ.
පසුගිය අයවැයෙන් පොරොන්දුවූ ටැබ් ලබාදෙන්නේ කවදාද?
ඔව් දැන් මේ වෙනකොට සියලුම ටෙන්ඩර් කටයුතු නිමාකොට පවතිනවා. මේ වසරේ නියමු වියාපෘතියක් විදියට පටන් අරන් ලබන වසරේ මුල සිට මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
නව රජය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතිවූ නව ප්‍රතිසංස්කරණ මොනවාද?
ඔව් නව ප්‍රතිසංස්කරණ රාශියක් මේ වනවිට ගෙනවිත් සහ ගෙනඒමට බලාපොරොත්තු වෙනවා. වසර දහතුනක අධ්‍යාපනයේ නියමක වැඩසටහන මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරනවා. අපොස සාමාන්‍යපෙළ අසමත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අලුතෙන් වූර්ථිය විෂයන් විසිහයක් හදුන්වාදිලා ඔවුන්ව උසස්පෙළ දක්වා රැගෙන යනවා.
මේ වනවිට ස්වාදීන සුපරීක්ෂණ මණ්ඩලය සදහාවූ යෝජනාව කැබිනට් අනුමැතියට යොමුකොට තිබෙනවා. එමගින් රාජ්‍ය හා පුද්ගලික සියලුම අධ්‍යාපන ආයතනවල යටිතළ පහසුකම් ඇතුළු අධ්‍යාපන පද්ධතියේ සියලුම කටයුතු නියාමනයකට ලක්වෙනවා. එයට සමගාමිව ලගම පාසල හොදම පාසල යටතේ දිවයිනේ පාසල් හත්දහසක ගොඩනැගිලි,විද්‍යාගාර,විද්‍යාගා ර පහසුකම් හා  කැසිකිලි හා වැසිකිලි පහසුකම් ඇතුළු සියලුම යටිතළ පහසුකම් ලබාදීමට කටයුතු කරගෙන යනවා.ඒ අතර තනි වැසිකිළි පද්ධති විසිහය දහසක් සහ ග්‍රාමීය පාසල් වලට 60% තුබූ විදුලිබල සැපයුම 95% දක්වා පාසල් දසදහසක වැඩිකොට තිබෙනවා.
ඒ වගේම මෙම වසරේ සිට බදු පදනම මත පරිගණක ලබාගෙන හයෙන් ඉහල  සියලුම පාසල්  පන්තිකාමර වලට වලට ලබා දීමට කටයුතු කරගෙන යනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණික විෂය අනිවාර්ය විෂයක් කිරීමට පියවර අරගෙන තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ හොරකම දුෂණය, කොමිස් ගැසීම් නැතිකරන්න කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන් පසුගිය රජය කාලයේ දේශපාලකයන් හා නිලධාරීන් පාසල් නිළ ඇදුමින් පවා ගසාකෑවා. අපි ඒ තත්වය නැතිකොට වවුචර් පතක් නිකුත් කිරීම තුලින් ගබඩා කිරීමට ගිය කෝටිගණන් මුදල් ඉතිරි කරගනිමින් දරුවන්ට තමා කැමති ගුණාත්මකව වැඩි ප්‍රමිතියෙන් යුතු නිළ ඇදුමක් තෝරාගැනීමට ඉඩ සලසා දී තිබෙනවා.
ඒ වගේම විදුහල්පතිවරු මුදල් ගෙන ළමුන් ඇතුලත් කිරීම් අවම කිරීමට පියවර ගෙන තිබෙනවා. වැරදි කරන විදුහල්පතිවරුන්ට විරුද්ධව නිර්භයව තීන්දු තීරණ ගෙන තිබෙනවා. ඒ වගේම දේශපාලන බේදයකින් තොරව විදුහල්පතිවරුන හාරදහසක් සහ අධ්‍යාපන පරිපාලන සේවයේ 852ක් බදවාගෙන, පුහුණු කොට අධ්‍යාපන පද්ධතියට දාලා තියෙනවා. ඒ වගේම ජාතික පාසල් සදහා නව ගුරුවරුන් 7000ක් සහ ගුරු උපදේශකයන් 3500 බදවාගැනීම් මේ වනවිට සිදු කරමින් පවතිනවා. ගුරු පුහුණුව සදහා අපේ ගුරුවරුන් විදේශ පුහුණු පාඨමාලා සදහා මැලේසියාව, තායිලන්තය, චීනය වැනි රටවලට යොමුකරවීම වැනි බොහෝදේ කරමින් පවතිනවා.
ඒ වගේම කියන්න ඕන සමාජයේ විවිධ පන්තීන් සදහා ජාතික පාසල් වල ළමුන් ඇතුළත් කරගැනීමේදී වැඩි ඉඩකඩ ඉල්ලු අවස්ථාවල ඒවාට විරුද්ධව නොබියව කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන් දොස්තර මහතුන්ගේ සියළුම දරුවන් සදහා ආනන්ද, නාලන්ද, විශාකා වැනි පාසැල් ඉල්ලුවිට අපි බලවේග වලට යටත් නොවී ඔවුන්ට යම් කෝටාවක් ස්ථාන මාරුවීම් මත දෙන අතර ගොවියාගේ කම්කරුවාගේ දරුවටත් අවස්තාව එන විදියට පාසල් වල ඉඩ පහසුකම් ඇති කරලා තියෙනවා.
පාසල් නිළ ඇදුමේ වර්ණය වෙනස් වෙනවා කියන්නේ ඇත්තද?
අමාත්‍යවරයෙක් විදියට මම නම් මේ යෝජනාවට කැමතියි. ඇත්තටම මේක මගේ අදහසක්. මොකද මම බොහෝවිට මොණරාගල වගේ දුෂ්කර පැතිවලට යනකොට දකින දෙයක් තමයි අපේ ශිෂ්‍යාවන් ටයිපටි දමාගෙන, දහදිය පෙරාගෙන අසීරුවෙන් ඉන්නවා වගේම සුදු ඇදුම් ඉකමණින් කිලිටු වන නිසා බොහෝ විට ඔවුන්ගේ  තමාගේ නිදහස් හැසිරීමට පෙළබෙන්නේ නැහැ කියලා මම දැකලා තියෙනවා. මේගැන ඉදිරියෙදී  අපි තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
 
දබුලු ලෙන් විහාරය පිළිබව අස්ගිරි පාර්ශවයත් සමග පැවති ගැටලුව නිරාකරණය වුනාද?
ඇත්තටම දබුලු ලෙන් විහාරයේ සිදුවුණේ 1996 සිට මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා පැවත එන අණ පනත් මගින් ලබාදී ඇති ප්‍රතිපාදන මගින් වීදෙශිය සංචාරකයන් සදහා ටිකට් පතක් නිකුත් කළා. පසුකාලයේ මා වැඩබාරගත් පසු මට එම විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේලාම පැමිණිලි කරනු ලැබුවා දවසකට විශාල ආදායමක් ලැබෙන නමුත් විශාල දුෂණ හා වංචා සිදුවන නිසා ඒ පිලිබදව මැදිහත්වී කටයුතු කොට ලැබෙන ආදායම පළාතේ අනෙකුත් දුෂ්කර විහාරස්ථාන නගාසිටුවීමට යෙදවීමට කටයුතු කරන ලෙසට.
දැනට සීගිරියට එන සංචාරකයන්ගෙන් දවසකට කොටි එකහමාරක් විතර ලැබෙනවා. ඉතින් දලවශයෙන් අපි විශ්වාස කරනවා  එතැන ලග නිසා දබුලු ලෙන් විහාරයට  සැහෙන කොටසක් ලැබෙනවා කියල. අපි සොයා බැලුවා ලක්ෂ 20 – 80 දක්වා ආදායමක් ලැබෙන නමුත් මේවා රජයට හෝ  මධ්‍යම සංස්කෘතික අරමුදලට ඇවිත් නැහැ. ඒ නිසා තමයි මම මොන පහරදීමට ලක්වුවත් මේ සදහා ඉදිරිපත් වුණේ.
ඒ සම්බන්දයෙන් දැන් අපි මහානායක ස්වාමින්වහන්සේලාටත්, මහා බාරකාර ස්වාමින්වහන්සේටත් ගිවිසුමක් යවලා තියෙනවා අත්සන් කරන්න. ගිවිසුමට අනුව 15% පන්සලට දෙන්නත් 85% වූ ඉතුරු මුදල් සියල්ලම මධ්‍යම සංස්කෘතික අරමුදලට අරගෙන සියලුම් ගිණුම් මහානායක ස්වාමින්වහන්සේලාටත්, මහා බාරකාර ස්වාමින්වහන්සේටත් පෙන්වා ඔවුන් නිර්දේශ කරන දුෂ්කර විහාරස්ථාන නගාසිටුවීමට ලබාදෙන්න අපි ක්‍රියා කරනවා.
දබුලු ලෙන් විහාරයහි භාරකාරීත්වය රජයට පවරගනිමක් සිදුකරනවද?
නෑ. කිසිම පවරාගනිමක් කරන්නේ නැහැ. අපි කරන්නේ සංරක්ෂණය කිරීම පමණයි. පසුගිය කාලයේ එකතුවූ කෝටි දහසකට පමණ මුදලකට වෙච්ච දෙයක් නැතිවෙලා තිබෙනවා කියලා ස්වාමින්වහන්සේලාම පැමිණිලි කරලා තියෙනවා. අපිට ඕනෑකම තියෙන්නේ ඒ මුදල් අරමුදලට අරන් එම ස්වාමින්වහන්සේලාම නිර්දේශ කරන දුෂ්කර විහාරස්ථාන නගාසිටුවීමට ලබාදෙන්න. මෙයින් සත පහක මුදලක් හෝ අපේ පරිහරණයට හෝ  රජයට හෝ මහා භාණ්ඩාගාරයට ලබාදෙන්න බලාපොරොත්තුවක් නැහැ.
පුරාවිද්‍යා ස්ථාන සුරක්ෂිත කිරීමට ගෙන ඇති පියවර මොනවද?
ඇත්ත වශයෙන්ම පුරාවිද්‍යා ස්ථාන බරපතල හානියකට ලක්වුණා පසුගිය කාලයේ. එම වගකීම ඉටුකළේ නැති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවා ඉවත් කරන්න අපි කටයුතු කළා. පුරාවිද්‍යා ස්ථාන ලක්ෂ දෙක තුනක් විතර අපේ රටේ තියෙනවා. මේ වනවිට මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් නිදන් සහිත ස්ථාන ආරක්ෂා කිරීමට මුරකරුවන් බදවා ගැනීමටත් මුදල් ප්‍රතිපාදන යොදා පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය  කොට විදේශිකයන්ට පෙන්වා අදායමක් ලබාගෙන එම මුදල් නැවත ඒ සදහා යොදවන්න අපි පියවර ගෙන තිබෙනවා.
විදෙශීකයන්ට ඊ ටිකට් සේවාව වැනි පහසුකම් ලබාදී සිදුවන මුදල් අවභාවිතය අවම කිරීමට  පියවර ගෙන තිබෙනවා.ඒ වගේම  පුරාවිද්‍යා වැදගත්කමක් ඇති දුප්පත් පන්සල් 150 නගාසිටුවීමට අවශ්‍ය අරමුදල් ලබාදී තිබෙනවා. එයට අමතරව අපී බලාපොරොත්තුවෙනවා දුප්පත් පන්සල් දහසක් සංරක්ෂණයට මුදල් ප්‍රතිපාදන ලබාදෙන්න ඉදිරි මාස කිහිපය ඇතුලත. පෙර පැවති කිසිදු රජයකින් මේදේ කලින් සිදුවුණේ නැහැ. මිට කලින් දේශපාලකයන් මේ මුදල් අවභාවිතා කිරීමයි කලේ.
සීගිරියේ අක්‍රමවත් වැසිකිළි පද්ධතිය ගැන ඔබ දැනුවත්ද?
ඔවු මම පිළිගන්නවා. පසුගිය කාලයේ ඒ දේවල් හරිහැටි නඩත්තු වුණේ නැහැ. මේ වනවිට මේ ගැන ඉතා වේගවත්ව ක්‍රියාත්මක වෙලා දැන් පෙරේදා වෙනකොට වැසිකිළි පද්ධති කිහිපයක වැඩ අවසන් කොට ජනතා අය්තියට පවරන්න කටයුතු කරලා තියෙනවා. විදේශියන් සදහා තවත් වෙනමම වැසිකිළි පද්ධති කිහිපයක වැඩ මේ වනවිට නිමකරගෙන යනවා.
 
මේ වනවිට බිම් මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයා සතුටින්ද ඉන්නේ?
ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ආණ්ඩුව ගොඩක් දේවල් කළා. රජයේ සේවකයන් සදහා පඩි වැඩි කළා.පෙට්‍රල් ඩිසල් විශාල මුදලකින් අඩු කළා. පෙනඩෝල් පෙත්තේ සිට ස්ටෙන්ට් එක දක්වා බෙහෙත්වල මිල විශාල මුදලකින් අඩු කළා. හෙට අනිද්දා අපි හැම දරුවෙකුටම ලක්ෂ දෙකක රක්ෂණයක් දෙනවා. ඒ වගේම චෝදනා එල්ලවූ ඇමතිවරුන් ඉවත් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම හොරු අල්ලන්නේ නැහැ කියලා පාක්ෂිකයන් අතර තියෙන කලකිරීම නැති කිරීමටත් අපි ඉදිරියේදී කටයුතු කරනවා.
පක්ෂයේ මහලේකම් තනතුරට ඔබතුමාගේ නම යෝජනා වුනත් නොලැබුණේ ඇතුළෙන් පැමිණි කැපිල්ලක් නිසාද?
නැහැ ඇත්තටම මට ලොකු උවමනාවක් තිබ්බෙත් නැහැ මහලේකම්කම ගන්න. ඒක මේ පක්ෂයේ ගොඩක් අය දන්නවා. වෙන අය නම් ඔහොම යෝජනාවුණාම අගමැතිතුමාගෙන් ඉල්ලීම් කරලා ඒක කොහොමහරි ගන්න හදන අය. මම ඒ ගැන මගේ අදහස අගමැතිතුමාටත් කියලා තියෙනවා. තනතුරු හබාගොස් බදා ගැනීම වෙනුවට මම වෙනත් පිළිවෙතක් අනුගමනය කරලා තියෙනවා. ඒක ඒ පක්ෂයේ අය දන්නවා.
දේශපාලනමය වශයෙන් ඉදිරී බලාපොරොත්තුව මොකද්ද?
අපි දේශපාලනයෙට ආවේ හොද දේශපාලනයක් කරන්න. ඒ වෙනුවෙන් අපි කැපවෙලා ඉන්න නිසා තමයි අගමැතිතුමාට පසුව ලක්ෂ තුනක පමණ වැඩිම මනාප ලබාදීලා ජනතාව ඒ විශ්වාසය ලබා දීලා තියෙන්නේ. මගේ බලාපොරොතුව ජනතාව දිනවන්න. මට ලැබී ඇති අමාත්යංශය හරහා නව ලෝකයට ගැලපෙන අයුරින්  විශාල වැඩකොටසක් ඉටුකරමින් ඉදිරියත් ජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ වැඩකොටස කරමින් ඉදිරියට යනවා.
සාකච්ඡා කලේ :රොෂාන් සමන්ත යාපා
MSc,BSc(Hons)(Spc Software Engineering).

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here