තීරණය තියෙන්නේ කාලය අතේ කියලා. මෙච්චර ඉවසුවා වගේ තවමත් මට ඉවසන්න පුළුවන්- පූර්ණිකා

0
219

පූර්ණිකා දැන් ඉන්නේ අම්මලාගේ ගෙදරද?

අම්මලා ඉන්නේ මම ඉන්න ගෙදරට ගෙවල් දෙකක් එහා. ගොඩාක් වෙලාවට මම පුතා එක්ක දවල් දවස ඉන්නේ මහ ගෙදර. තාත්තත් අසනීපෙන් ඉන්න නිසා දවල්ට මම ගෙදර ඉන්න එක අම්මට සහනයක්. අම්මාගේ ව්‍යාපාර කටයුතුවලට හිතේ සැනසීමෙන් යන්න පුළුවන් එතකොටනේ. රෑට අම්මා අපේ ගෙදර එනවා. ඊටත් වඩා වටේ පිටේ ඉන්නේ දන්න අඳුනන අයනේ. බයවෙන්න දෙයක් නෑ.

පූර්ණිකා හිටියගෙන් බාගයයි. කොහොමද එච්චර කෙට්ටු වුණේ?

පුතා හම්බවෙන්න ඉන්නකොට සෑහෙන්න මහත් වුණා. ඉපදිච්ච දවසේ ඉඳන් පුතාගේ හැම වැඩක්ම වුණේ මගේ අතින්. පුතාගේ වැඩයි, ගෙදර වැඩයි කරන කොට මහත ගතිය ටික ටික අඩුවුණා. කවදාවත් අපේ ගෙදර වැඩකාරයෙක් ඉඳලා නෑ. ඒ නිසා ගෙදර වැඩ කරගත්තෙ මමමයි. රවි බන්දු සර් කතා කළ නිසා පහුගිය කා‍ලේ ආයෙත් මම නර්තන පුහුණුවීම්වලට ගියා. ඒ නිසා වෙන්න ඇති තවත් කෙට්ටු වෙන්න ඇත්තේ.

පුතාගේ තාත්තා ගෙදර වැඩවලට උදව් කළේ නැද්ද?

මම කැමැත්තෙන්ම ඒ දේවල් කළා. ඒ ගැන පසුතැවීමක් නැත්තේ ඒකයි.

පුතා ඉපදුනාට පස්සේ රස්සාවෙන් අයින් වෙන්නත් හැදුවා නේද?

ඔව්. අවස්ථා දෙකකදි මම රැකියාවෙන් ඉවත්වෙන්න හැදුවා. නිවාඩු අරගෙන මම රැකියාවට ගියේ පුතාට මාස හයෙන්. ඒ වෙනකොටත් එයා මව් කිරි බොනවා. අනිත් එක පුතාගේ වැඩකටයුතුත් එක්ක මට රැකියාව කරගන්න අමාරුයි කියලා දැනුණා. ඒත් දෙරණ කළමනාකාරීත්වය ඒකට ඉඩදුන්නේ නෑ. ඒ වෙනුවට එයාලා මට මගේ දරුවව බලාගන්න පහසුකම් දුන්නා. මට සතියටම එක වැඩසටහනක් විතරක් දුන්නා. වැඩසටහන ඉවර වුණ ගමන් ගෙදර එන්න ප්‍රවාහන පහසුකම් දුන්නා. එහෙමයි කියලා මගේ පඩිය අඩු කළේවත්, දීමනා අඩු කළේවත් නෑ. අදටත් මගේ ආයතනය මට දෙන මානසික නිදහස සහ වෘත්තීය නිදහස මට මිල කරන්න බෑ.

දෙරණ පූර්ණිකාට හොඳට සලකනවා වගේ?

කටපුරා ඔව් කියලා කියන්න පුළුවන්.

පූර්ණිකා තමන්ගේ වෘත්තිය ගැන කතා කරන්නේ තෘප්තියෙන්?

ඔව්. දැන් නම් පුතා ලොකු නිසා මම ඉවෙන්ට් වගේ දේවලුත් කරනවා. දෙරණින් ඊට කිසිම බාධාවක් නෑ. ඒවගේම දෙරණේ විශේෂ අවස්ථාවල නිවේදන කටයුතුවලට රියැලිටි වැඩසටහන්වලට වෙනදාට වඩා දායක වෙනවා.

එතකොට පූර්ණිකා අතෘප්තිමත් පෞද්ගලික ජීවිතය ගැනද?

සමහර අවස්ථාවල ප්‍රශ්න, කරදර ජීවිතයට එනවා. හැබැයි මම පෞද්ගලිකත්වය මාධ්‍ය ඉස්සරහවත් අන්තර්ජාලය ඉස්සරහවත් කතා කරන්න කැමැති නෑ. මොකද ඒක පෞද්ගලික ජීවිතය නිසා.

පූර්ණිකා ප්‍රශ්න හමුවේ නිශ්ශබ්ද වෙන්නේ, නිරුත්තර වෙන්නේ බයකට එහෙමත් නැත්නම් වැරැද්දක් ඇති නිසා කියලා කෙනෙක්ට කියන්න පුළුවන්?

ඕනෑ කෙනෙක්ට ඕනෑ දෙයක් කියන්න, හිතන්න නිදහස තියනවා. ඒත් මම දෙයක් කරන්න, කියන්න කලින් මගේ පුතා ගැන හිතනවා. දැන් මට වැදගත් මගේ දරුවා. එයා ජීවිතය පටන් ගත්තා විතරයි. පුතා ගුරුවරුන්ට, යාළුවන්ට, සමාජයට මූණ දෙන්න ඕනෑ. එන්න එන්න දරුවා ලොකු වෙනවා මිසක් ‍පොඩි වෙන්නේ නෑනේ. මම කැමති, ප්‍රශ්නයක් තියනවා නම් රටට අණබෙර නොගහා සාමකාමීව විසඳාගන්න. නැත්නම් රට්ටු හිනස්සන්නවත් දරුවා අපහසුතාවට පත්කරන්නවත් නමෛයි. මම මෙච්චර දවසක් කළෙත් ඒක. ඉදිරියටත් එහෙමයි.

දෙන්නා දෙමහල්ලො අතර ප්‍රශ්නයක් තියනවානේ?

ඔව්. පවුල් ජීවිතවල කාලයෙන් කාලයට ප්‍රශ්න එනවා. ප්‍රශ්නයේ හැටියට විසඳුමත් වෙනස්. ඒ වගේ වෙලාවට ඉවසීමෙන්, ඔළුව කල්පනා කරලා වැඩ කරන්න ඕනෑ. මොනවා වුණත් ඒ මගේ දරුවාගේ තාත්තානේ. දෙයක් කරන්න, කියන්න කලින් මට ඒක හිතන්න ඕනෑනේ.

සහන් කියනවා දික්කසාද තීරණය තියෙන්නේ පූර්ණිකා අතේ කියලා?

මම කියන්නේ ඒ තීරණය තියෙන්නේ කාලය අතේ කියලා. මෙච්චර ඉවසුවා වගේ තවමත් මට ඉවසන්න පුළුවන්.

කරන චෝදනා බොරු කියලද කියන්නේ?

ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන් අපි ඒකට දක්වන ප්‍රතිචාරයයි වැදගත්. මම කිව්වනේ කාලය හැම ප්‍රශ්නයක්ම හොඳම විදියට විසඳයි.

ප්‍රශ්න හමුවේ අක්කයි නංගියි ආයෙමත් ළං වෙලා?

මට ඉන්නේ අක්කා විතරයි. අක්කාට ඉන්නේ මම විතරයි. ඒත් පහුගිය කා‍ලේ අක්කලාගේ ප්‍රශ්නත් එක්ක බාහිර පාර්ශ්ව නිසා ඇත්තටම අපි ටිකක් ඈත් වුණා. පස්සේ කාලෙක ආයෙමත් ඒ හිත් නොහොඳකම් හරි ගියා. මට එයාගේ ප්‍රශ්නවලදි ළඟින් ඉන්න බැරි වුණාට මගේ ප්‍රශ්නවලදි එයා මාව තනිකළේ නෑ. කොහොමත් මට මගේ දෙමව්පියෝ, අක්කා, නෑදෑයෝ, යාළුවෝ ශක්තියක් විදියට හැමදාම හිටියා.

හොඳ මස්සිනා කෙනෙකුත් හම්බවෙලානේ?

ඇත්ත. පිරිමි සහෝදරයෙක්ගෙන් වෙන්න ඕනෑ යුතුකම්, පුතෙක්ගෙන් වෙන්න ඕනෑ යුතුකම් අයියා අඩුවක් නැතුව කරනවා. තාත්තා අසනීප වුණ වෙලාවෙදිත් ගයාන් අයියා හරියට මහන්සි වුණා. ඇත්තටම එයා හොඳ සහෝදරයෙක්.

 

 

 

 

හිමේෂා සවන්තී රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here