ගැබිනි කත ලවා වමනය සේදූ කොන්දොස්‌තර….

0
78

පසුගිය සතියේ “දිවයින ඉරිදා සංග්‍රහය” බස්‌ රථයක්‌ තුළ වමනය දැමූ ගැබිනි මාතාවකට තිරිසන් සතෙකුටත් වඩා අන්ත අයුරින් සැලකූ මිනිස්‌ තිරිසනකු පිළිබඳ “බස්‌ එකේ වමනෙ දැම්ම නං සීට්‌ කාපට්‌ හෝදපං” යන සිරස්‌තලයෙන් යුතුව ලිපියක්‌ පළ කළේය. එම ලිපිය පිළිබඳව දැනුවත් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරීහු වහාම පරීක්‍ෂණයක්‌ පවත්වා වැරැදිකරුට නිසි දඬුවම් ලබාදී තිබේ.

ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා “දිවයින ඉරිදා සංග්‍රහයේ” පළවූ එම ලිපිය කියවා ජනාධිපතිතුමා ඇතුළු අදාළ නිලධාරීන්ව ඒ සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ. ඒ අනුව ජනාධිපති විමර්ශන අධ්‍යක්‍ෂ රූබන් වික්‍රමආරච්චි මහතා ඒ පිළිබඳව කඩිනම් පරීක්‍ෂණයක්‌ පවත්වා ජනාධිපති ලේකම්තුමාට භාරදී තිබේ.

ගැබිනි කාන්තාවගේ නම දර්ශිකාය. (ඇයව අපි

පළමුව හැඳින්වූයේ පුෂ්පා යන අන්වර්ථ නාමයකිනි) ඇයගේ ස්‌වාමිපුරුෂයා ගුවන් හමුදා නිලධාරියෙකි. ඔහු රාජකාරි කරන්නේ කොළඹින් පිට පළාතකයි. එම නිසා දර්ශිකා (ගැබිනි මාතාව) වැඩි ආරක්‌ෂාව සඳහා කටාන, දෙල්ගහ ප්‍රදේශයේ පිහිටි තම මවගේ නිවෙස වෙත පැමිණියාය.

පසුගිය දහතුන්වැනිදා (13 දා) ඇයට හෙට්‌ටිපොළ පිහිටි මාතෘ සායනය සඳහා යැමට නියමිතව තිබුණි. ඒ සඳහා ඇය තම මව සමඟ එදින උදේ 8.00 ට පමණ නිවසින් පිටත් වූවාය.

දෙල්ගහ හන්දියට පැමිණි එම දෙපළ කටාන සිට මීරිගම දක්‌වා ධාවනය වූ උඡ Hඋ-9048 දරන බස්‌රථයට ගොඩවූහ. දර්ශිකා මාතෘ සායනයට යැම සඳහා බැසිය යුතුව තිබුණේ හල්පේ හන්දියෙන්ය.

හල්පේ හන්දියට ආසන්නව තිබියදී එම ගැබිනි මාතාවට බස්‌රථය තුළ වමනය ගියේය. එහිදී බස්‌රථයේ කොන්දොස්‌තර ලෙස කටයුතු කළ මෙරිල් නිශාන්ත නමැති පුද්ගලයා, එම ගැබිනි මාතාවට ඉතා පහත් ආකාරයෙන් බැණ වැදී ඇති අතර අදාළ ස්‌ථානයෙන් බැසීමට ඉඩ නොදී මීරිගම නගරය දක්‌වා රැගෙන ගොස්‌ බස්‌ රථයේ කාපට්‌ පවා සෝදාගෙන ඇත.

මාතෘ සායනයට එම ගැබිනි මාතාව යා යුතුව තිබුණේ 8.30 ට පමණි. එහෙත් වමනය දැමූ බස්‌රථයේ කොන්දොස්‌තර බලහත්කාරයෙන් මීරිගමට රැගෙන ගොස්‌ බස්‌රථයේ කාපට්‌ සෝදා ගැනීම නිසා මාතෘ සායනයට ඇයට සහභාගි වීමට නොහැකි විය. එයින් සිත් තැවුලට පත්වූ ඇය ස්‌වාමිපුරුෂයාට සහ ඥතීන්ට ඒ පිළිබඳව දන්වා තිබේ.

ස්‌වාමිපුරුෂයා ඇතුළු එම ඥතීහු පවසා ඇත්තේ පොලිසියට ගොස්‌ ඒ පිළිබඳව පැමිණිල්ලක්‌ දමන ලෙසයි. ඒ අනුව කොටදෙණියාව පොලිසියට ගොස්‌ තමාට සිදුවූ අසාධාරණය පිළිබඳව ඇය පැමිණිල්ලක්‌ දැමුවාය.

පැමිණිල්ලට අනුව අදාළ බස්‌ රථයේ කොන්දොස්‌තරව සහ රියෑදුරුව කොටදෙණියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී කොන්දොස්‌තර ප්‍රකාශ කර ඇත්තේ බස්‌ රථයේ අයිතිකරු තමන් බවයි. ඒ අනුව එම දෙපළට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්‌ නිලධාරීහු කටයුතු කරන අතර තුර එම බස්‌රථයේ අයිතිකරුගේ බිරිඳ වන සුදර්ශනී පොලිසියට පැමිණ තිබේ.

සුදර්ශනී නැමැති එම කාන්තාව ගැබිනි මාතාව වන දර්ශිකා සමඟ කතා බස්‌කොට මෙම සිද්ධිය සමාදානයෙන් බේරා ගැනීමට ඇයව ඒකඟ කරගෙන ඇත. එ සඳහා වන්දි මුදලක්‌ ලබාදෙන බවත් සුදර්ශනී පවසා ඇත. ඒ අනුව ගැබිනි මාතාව පොලිසියේ සහ උසාවියේ රස්‌තියාදු වීමට අකමැති හෙයින් විත්තිකරුගෙන් රුපියල් විසිදාහක මුදලක්‌ ලබාගෙන පැමිණිල්ල ඉල්ලා අස්‌කර ගෙන තිබේ. එම සිද්ධිය එතැනින් අවසන් විය.

එහෙත් මෙම ලියුම්කරු “ඉරිදා දිවයින සංග්‍රහය” තුළ එම සිද්ධිය පිළිබඳව සවිස්‌තරාත්මක ලිපියක්‌ පළකිරීම හේතුවෙන් එය දුටු ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා ඒ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ජනාධිපති විමර්ශන අධ්‍යක්‍ෂ රූබන් වික්‍රමආරච්චි මහතාට දන්වා තිබේ.

එම නියෝගයට අනුව නැවත මේ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස රූබන් වික්‍රමආරච්චි මහතා අදාළ නිලධාරීන්ට නියෝග කර තිබේ. එහිදී දැන ගන්නට ලැබුණු තොරතුරු අනුව බස්‌රථයේ නියම හිමිකරු වනුයේ එහි කොන්දොස්‌තර ලෙස කටයුතු කළ මෙරිල් නිශාන්ත නොව සුදර්ශනී නමැති ඔහුගේ බිරිඳයි. එහෙත් මෙරිල් නමැත්තා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ බස්‌රථයේ අයිතිකරු තමන් බවයි. එලෙසම ඔහු පොලිසියට බස්‌ රථයේ බලපත්‍රය පිළිබඳ ලබාදී තිබුණේ වැරැදි ලිපිනයකි. කෙසේ වෙතත් කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබුණේ එම බස්‌ රථයේ කොන්දොස්‌තර ලෙස කටයුතු කළ පුද්ගලයා වැරැදිකරු බවයි. ඒ අනුව අදාළ බලධාරීන් එම බස්‌රථයේ ගමන් බලපත්‍රය අවුරුද්දක කාලසීමාවකට අවලංගු කරන ලෙස බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියටදැනුම් දී තිබේ. එලෙසම එම බස්‌රථයේ කොන්දොස්‌තර වන මෙරිල් නිශාන්තට නියමිත ස්‌ථානයේ බැසීමට නොදී මගීන් අවහිර කිරීම සහ බලහත්කාරයෙන් පැහැරගෙන යැමේ චෝදනා දෙක මත අධිකරණයේ නඩුවක්‌ද පවරා තිබේ.

“දිවයින ඉරිදා සංග්‍රහය” මගින් කළ අනාවරණයක්‌ නිසා වැළලී යැමට ගිය අපරාධයක්‌ ගැන ජනාධිපතිතුමාගේ අවධානය යොමුවී විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වා නිසි පුද්ගලයන්ට දඬුවම් ලබාදීම පිළිබඳව නිහතමානීව අපි සතුටු වන්නෙමු.

ගයාන් සමරසිංහ

(දිවයින)

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here