අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සදහා මේ මස 17 වැනිදා දක්වා කාලය ලබා දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පැවසීය. එලෙස ඉල්ලා අස් නොවන්නේ නම් 17 වැනිදායින් පසු විජේදාස රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඒකාබද්ධ හමුවක් ලබන 17 වැනිදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර, විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධ චෝදනාද මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන වංචා, දූෂණ සහ අපරාධ සම්බන්ධ ලිපිගොනු 82කට වැඩි ප්‍රමාණයක්  නීතිපති දෙපාර්තමේන්තුව තුළ ගොඩගැසී තිබීමත්, ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ප්‍රමාද වීමත් හේතුවෙන් මෙලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට තීරණය කර තිබේ. එමෙන්ම වංචා, දූෂණ සම්බන්ධ නඩු විභාග කිරීම  සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමේ කෙටුම්පත් පවා සූදානම් කර තිබුණද, ඒ සියල්ල විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ප්‍රමාද කරන බවද ඔහුට ඇති තවත් චෝදනාවකි.

අදාළ විශ්වාසභංග යෝජනාව මේ වනවිට සකසා අවසන් බවත්, මන්ත්‍රීවරුන් බොහෝමයක් මේ වනවිට ඒ සඳහා අත්සන් තබා ඇති බවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් පුවත්පතට පැවසීය. මේ අතර හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීරණයක් ගැනීමෙන් පසුව එයට විරුද්ධ අදහස් දක්වා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීම සම්බන්ධයෙන් හෙට (15දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගැනීමට නියමිත බවද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් කියා සිටියේය. විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළද එය ව්‍යර්ථ වූ අතර තමා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩනොකළ බව පසුගිය දිනයක පවසා තිබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here